Daily News
” බිම්බා දේවී නොහොත් යශෝධරා ” නරඹන්න යන ප්‍රේක්ෂකයන්ට සිද්දවෙන අරුම පුදුම දේ කියවන්න
මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා ප්‍රවේශය වූ බිම්බා දේවියගේ කතාව බලන්න මේ දිනවල වැල නොකැඩී සෙනග ඇදෙනවා.
විශේෂයෙන්ම සති අන්ත නිවාඩු දිනවල සිනමා ශාලාවල දොරකඩ බිම්බාවුන් දැකීමට පැමිණි ජනතාවගෙන් පිරී ඉතිරී යනවා.
පොදුජන විඥ්ඥානය සන්තෘප්ත කිරීම උදෙසාම සිනමාව මෙහෙයවන මහාචාර්‍ය ආරියරත්නයන් ඇත්තටම මේ කරන්නෙ මොකක්ද? සිංහල බෞද්ධ තුන්වන පාන්තික ජනතාවගේ භක්තිවන්ත හැඟුම් කුපිත කරවා ආර්ථික වාසි උරගා බැලීම එතුමන්ගෙ එක විදියක සාර්ථකත්වයක්. අනෙක් අතට ප්‍රේක්ෂාගාර හිස් ව ඇති වටපිටාවක ස්වකීය නිර්මාණය සමග හුදකලාවන සිනමා කරුවකුට වඩා අති බහුතර ප්‍රේක්ෂාකර්ශනයක් දිනාගන්නා ජනප්‍රිය සිනමා කරුවකු වීමේ භාග්‍යය එතුමා අත්විඳිනවා.
කොහොම නමුත් මේ කියන්න යන්නෙ යශෝධරා නොහොත් බිම්බා දේවියගේ කතාව රැගත් සුනිල් ආරියරත්නයන්ගේ සිනමා කෘතිය සමඟ ගනුදෙනු කරන්න පැමිණෙන බැතිමතුන්ට සිද්ධවෙන දේ ගැන.
යශෝධරා දේවිය කියන්නෙ බෞද්ධ සාහිත්‍යයයේදී අපට මුණගැහෙන ශ්‍රේෂ්ටතම කාන්තා රත්නයක්. ඇය විඳි අප්‍රමාණ වේදනා සහ කැපකිරීම් සුනිල් ආරියරත්නයන්ගේ සිනමා නිර්මාණයට විෂය වෙනවා. මේ නිර්මාණය සමඟ ඒකාත්මික වන භක්තිවන්ත සිංහල බෞද්ධයා සිනමා ශාලාවෙන් එලියට එන්නෙ සුදොවුන් රජතුමන් මුහුණදෙන තරමේ දරුණු වියෝ දුකකින්.
බෝසත් සිදුහතුන් ගිහි ජීවිතය හැරයාමේ සිට යසෝදරාව සමඟ කඳුළු සලන බැතිමත් ප්‍රේක්ෂාගාරය සියලු දුක්ඛ වේදනාවන් ඉකියක් ද සමග සිනමාශාලා ගර්භය මුදාහරිනවා. පැය දෙකකට වැඩි ප්‍රදර්ශන කාලය ඇතුලත අතිබහුතර ප්‍රේක්ෂකයින්ගේ දෙසවන් අගුළු වැටෙන අතර නාසය සිරවී සුරුස් සුරුස් ගෑවෙනවා.
සිදුහතුන් ඇසතු බෝධි වෘක්ෂ මූලයේදී ලොවුතුරා බුද්ධත්වයට පත්වූ මොහොතේ පටන් දොහොත් මුදුන් දීගන්නා භක්තිවන්ත ප්‍රේක්ෂාගාරය දෙවුදතුන්ගේ අප්‍රමාණ හිරිහැර අභිමුව සියොළඟ වේදනාවෙන් හැකිලෙනවා. රාහුල පුතු සහ බිම්බාවුන් අතර හුවමාරුවන නරසීහ ගාථා සාමූහිකව ගායනය කරන ප්‍රේක්ෂාගාරය ඉනික්බිති දෙ අත් නළලත තබා සාදු කාර දෙනවා. අතරින්පතර බැතිමතෙක් දෙන්නෙක් හිඳ සිටිනා අසුනින් නැඟිට බුදු බැතිය ඉහවහාගිය සිත් ඇතිව අනේක ජාති සංසාරං නම් වූ බුදුන්ගේ උදාන වාක්‍යයට දොහොත්මුදුන් වෙනවා.
අවසානයේ යශෝධරා මහරහත් මෙහෙණියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දක්වන ප්‍රේක්ෂාගාරය සිනමා ශාලාවෙන් එලියට එන්නෙ සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුන රෝගීන් සේ හැඟුම් බරව.
කාටහරි මේ යථාර්ථය ඇස්දෙකෙන් දැකගන්න වුවමනා නම් යශෝධරා තිරගතවන ළඟම තියෙන සිනමා ශාලාවට යන්න.