
ගායකයකු, ප්‍රහසන නළුවකු, වැඩටහන් ඉදිරිපත් කරන්නකු, කෙලින් කතා කරන්නකු ලෙස නොව අප වඩාත්ම කැමති ඔහුව රොනී අංකල් ලෙස හඳුන්වන්නටය.
සිරස රූපවාහිනියෙන් මෑතකදී විකාශය කළ “පොඩ්ඩන්ගේ වැඩ” නම් වූ ළමා වැඩසටහන මෙහෙයවූයේ අප වඩාත් ආදරය කළ රොනී අංකල්ය. එම වැඩසටහන ඒ තරම් සාර්ථකව මෙහෙයවිය හැකි තවත් කෙනකු ඇතැයි අපි තවමත් විශ්වාස නොකරමු. දෙමාපියන්ටවත් කීකරු නැති දඟකාර පොඩ්ඩන්ගේ හුරතලය විතරක් දෝතට ගෙන රූපවාහිනී තිරය මත තබන්නට රොනී අංකල් සූරයකු විය.
අද වැනි ලෝක ළමා දිනවල පොඩි උන්ව සිනා සාගරයේ ගිල්වන රොනී අංකල් දුක දෝමනස්සයන් කරපින්නාගත් වැඩිහිටි මුවගටද සිනහව ගෙන ආ අව්‍යාජ කලාකරුවකු විය. අදින් මතු එළඹෙන ලෝක ළමා දිනවලට රොනී අංකල් නැත.
රොනී ලීච් නමින් රටක් හඳුනන ගායකයා ජීවිත පරිචයෙන් බොහෝ දැන උගත්කම් ඇත්තෙකු බව ඔහුව ළඟින් හඳුනන බොහෝ දෙනෙක් දනිති. සිනමාව සම්බන්ධයෙන් ඔහු සතු මතකය ඉතා ඈතය. එමෙන්ම ඒ මතකය හරි පැහැදිලි හා නිරවුල් ය. සිනමා ඉතිහාසයේ යටගිය ස්මරණයන් රොනී ලීච් හෙළි කරන්නේ රසවත්වය. ඊට කන්දීම අතීතකාමයෙන් මුසපත් කරවන තරමට මිහිරිය.
රොනී නම් වූ අතිශය ජනප්‍රිය තට්ට ගායකයා බිහි වන්නේ තට්ටයා නම් වූ ගීතය බිහිවීමත් සමඟය. කැසට් පටයේ කවරයට පින්තූරයක් ගැනීම සඳහා තට්ටය ගාන්නට සිදු වූ රොනීට ගීතය ජනප්‍රිය වීමේ විපාකය නිසා දිගටම තට්ටයෙන් පෙනී සිටින්නට සිදු විය. තට්ටය යනු ඉල්ලන් කෑමක් යයි වරක් ඔහු සිනා සෙමින් කිව්වා මට මතකය.
අවුරුදු හැටපහක් කියන්නේ මිනිහෙකුට ඒ හැටි වයසක් නොවේ. රොනී තවත් කලක් ජීවත් විය යුතුම මිනිසෙකි. විදෙස්ගතව සිටින ලාංකිකයන් පින වීමට ඕස්ට්‍රේලියාවට ගිය රොනී, සිය ජීවන ගමනේ වෙහෙස නිවා ගන්නට සිතුවා කල් වැඩිය. ඒත් ඒ ගමන යා යුතුම එකක් වූ නිසා ඔහු ගියා විය යුතුය. රොනී ලීච් යනු අනුකරණය කරන්නට හිතෙන තරමේ පෞරුෂයකි. ඒ නිසා රියැලිටි වේදිකාවල අනුකාරක රොනී පැටවුන් පවා බිහි වුණි. නමුත් ඔහු ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිනාසුණා පමණි.
සිනමා ක්ෂේත්රයේ චරිතයක් වෙනුවෙන් මුලින්ම හිස මුඩුකොට ඇත්තේ පියදාස විජේකෝන් නමැති නළුවාය. ඒ සුහද දිවිපිදුම නමැති චිත්‍රපටයටය. නිහාල් සිල්වා, සාජන් නල්ලතම්බි කියන චරිතය වෙනුවෙන් හිස මුඩුකරන්නේ වේදිකාව වෙනුවෙන් ය. ගීතයක් වෙනුවෙන් හිස මුඩු කළේ රොනී ලීච් ය. එදායින් පසු රොනීගේ තට්ටයට බෙහෙවින් ප්‍රිය කළ රසික රසිකාවියන් බොහෝ වෙති. ඒ අතර කුඩා දරුවන් සුවිශේෂීය.
ආදරණීය තට්ටයා, රොනී ලීච් නම් වූ සොඳුරු කලාකරුවා, මේ මොනවත්ම නොව දරුවන්ගේ මුවගට සිනහව රැගෙන ආ සුන්දරම රොනී මාමා සඳහටම යන්නට ගොසින් ඇත. ඔහුට සමු දීම එතරම්ම අපහසු නිසා අවසන මෙසේ ලියා තබමු.
ආදරණීය කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්!