Daily News
හැම අම්මා කෙනෙක්ගේම තාත්තා කෙනෙක්ගේම ඇස්වලට කඳුළු උනන ගීතයක් ප්රදීප්ගෙන් – ප්‍රදීප් රංගන

නව රැල්ලත් සුභාවිත සංගීතයත් නිවැරදිව ස්පර්ශ කරන ගායකයකු සහ සංගීත ශිල්පියකු ලෙස ප්‍රදීප් රංගනව හඳුන්වා දෙන්නේ කිසිදු චකිතයකින් තොරවය. ඔහු මෙතෙක් රසිකයන් අතරට ගෙනා නිර්මාණ සියල්ලම පාහේ අතිශය ජනප්‍රිය විය. එමෙන්ම ඒවා අර්ථාන්විත නිර්මාණ ද විය.
ජනප්‍රිය සංස්කෘතියට දොස් කියනවා විනා රසවින්දනයට හොඳ යමක් කරන්නට කිසිවකුත් උත්සාහ නොකරයි. මේ හිස්තැන නිවැරදිව ග්‍රහණය කර ගන්නා නිර්මාණකරුවකු ලෙස ප්‍රදීප්ව හඳුන්වා දීමට හැක. ඔහුගේ නවතම ගීත නිර්මාණය ඊට කදිම උදාහරණයකි.
මහ වැස්ස වැටුණත්
නෑ සීත දෙන්නේ
නාඩා නිදාගන්න නංගී….
ප්‍රදීප් වෛද්‍යවරයකු ලෙසත් විවාහකයකු ලෙසත් ඉතා වටිනා පණිවුඩයක් සිය කලා නිර්මාණය ඔස්සේ සමාජ ගත කරන්නට වෑයම් කරයි. ඔහු උත්සාහ ගන්නේ පවුල් සංස්ථාවේ බිඳවැටීම දරුවන්ට බලපාන ආකාරය විස්තර කිරීමටය.
ගායකයා හුදු විනෝදාස්වාදය සපයන්නකු පමණක් නොවී සමාජ සේවකයකුද වන්නේ කෙසේද යන්න ප්‍රදීප් සිය නිර්මාණ භාවිතාවෙන්ම පසක් කරයි.
මෙම ගීතයෙහි පද රචනාව සිදුවන්නේ ප්‍රදීප් සහ වෛද්‍ය රොෂාන් කරුණාරත්නගේ සහයෝගයෙනි. තනුව නිර්මාණය වන්නේ ප්‍රදීප් රංගනගේ සංගීත ඥානයෙනි. මේ සඳහා ඉතාම සංවේදී වීඩියෝවක් නිර්මාණය වන අතර එම සංකල්පය ද ප්‍රදීප්ගෙනි. විඩියෝව අධ්‍යක්ෂණය කරන්නේ මනුක අනුරංගනය.
දෙමාපියන් නැති නිවසක තම කුඩා නැගණියව නළවන පුංචි අයියා කෙනකු සම්බන්ධයෙන් ගොඩනැඟී ඇති වීඩියෝවට ප්‍රදීප්ගේ ගායනයත් මුසුවූ විට ගොඩනැගෙන නිර්මාණය අතිශය සංවේදී එකකි.
දෙමාපියන්ගේ විරසක නිසා පෑරෙන පොඩි හිත් මහ වැස්සකට හසුවූවා සේ වේදනා බරය. ඒ දරුවන්ගේ ඇස්වලින් වැටෙන කඳුළු වැහි වතුරටත් වඩා බරය. ප්‍රදීප්ගේ හැඬුම්බර ස්වරය හදවත පතුලටම කිඳා බසියි.
‘මහ වැස්ස’ වරක් හෝ නරඹන්න. නරඹන ගමන් රසවිඳින්න. ඔබේ දෙනෙතට කඳුළක් නැගෙනඑක වළක්වන්න උත්සාහ නොගෙනම ඒ කතාව අහන්න.
දරුවන්ගේ ලෝකය ලස්සන වන්නේ දෙමාපියන් ද ඒ ලෝකයේ සිටිනා විටය. ඒ නිසා පොඩි හිත් තනි කරන්න හිතන්නවත් එපා.