
සුජානි මේනකා සහ බිමල් ජයකොඩි කියන්නේ කට කතා ඕපාදූපවලට කවදාවත්ම ගොදුරු වුණේ නැති ආදරණීය පෙම්වතුන් යුවලක්. මේ ආදරය අද වන විට විවාහයෙන් තවත් සවිමත්ව තිබෙනවා. සුජානි වගේම බිමල් කියන්නෙත් රංඟනයට ශූරයෝ. ඒ ගැන සැකයක් නැහැනේ.
රංඟනය කියන දේ තේරුමක් ඇතිව සහ තත්වයක් ඇතිව කරන්න සෑම විටම බිමල් උත්සාහ ගන්නවා. නීරස කතා වලින් මේ නිසා ඔහු ඈත් වෙනවා. අසාමාන්‍ය විදියට කොටස් දික් කරන කතා වලිනුත් ඔහු ඈත් වෙනවා. දෙවැනි ඉනිම නාට්‍යයෙන් පවා ඔහු ඉවත් වෙන්න තීරණය කරනවා. බිමල්ට වගේම සුජානිටත් ආදරය කරන රසික පිරිසක් ගොඩ නැගෙන්න ඔහු තුළ තිබෙන මේ කෙලින් තීරණ ගන්නා ලක්ෂණයත් හේතුවක්.
කාලෙකට පස්සේ බිමල් සහ සුජානි නිර්මාණයකදි පෙම්වතුන් ලෙස එකට මුණගැහෙනවා. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක චාමර ජනරාජ් පීරිස්. බිමල් සහ සුජානි විවාහක යුවලක් ලෙස ආදරයෙන් වෙලී සිටින දර්ශන තමයි නාට්‍යය ආරම්භයේදී දකින්න ලැබෙන්නේ.
යශෝදා විමලධර්ම, චමිලා පීරිස්, සුජානි මේනකා, බිමල් ජයකොඩි, රොෂාන් පිලපිටිය, චින්තක කුලතුංග, උමයංගනා වික්‍රමසිංහ ආදී අති දක්ෂයින් රැසකගේ රංඟනයෙන් හැඩවුණ මේ කතාව තමයි රාහු. වෙනස් ටෙලිනාට්‍ය අත්දැකීමක් එක්ක සතියේ දිනවල ස්වාධීන රූපවාහිනියෙන් රාහු විකාශනය වෙනවා.
ඉතාම සුන්දර දර්ශන තලයක රූගත කර තිබෙන රාහු නාට්‍යයට බිමල් සහ සුජානිගේ තාත්වික රංඟනයෙන් ලැබෙන ආලෝකය මෙහිදී වඩාත් කැපී පෙනෙනවා.