
WWE රෙස්ලිං ශූරයෙකු වන රෝමන් රෙයින්ස්, තමන්ට වැළදී ඇති ලියුකේමියා රෝගය හේතුවෙන් සිය විශ්ව ශූරතාව අත්හැරීමට තීරණය කරනවා. සිව් වරක් ලෝක ශූරතාව දිනූ රෝමන්, තමන්ට ලියුකේමියා රෝගය වැළඳී ඇති බව හඳුනාගත්තේ මීට වසර 11කට කලින්. එම රෝගී තත්ත්වය බලවත් නොවී පැවැති නිසා රෝමන් තව දුරටත් රෙස්ලින් ක්‍රීඩාවේ නිරත වුණා
නමුත් නැවත ලියුකේමියාව හිස එසවීම නිසා තවදුරටත් “එම සටන්කාමී ශූරයා” ලෙස සිටීමට තමන්ට නොහැකි බව ඔහු පවසා සිටියා. මේ ප්‍රකාශයත් සමඟ ඔහුට සහය පළකරමින් රසිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම #ThankYouRoman යන හෑෂ්ටැගය සහිතව පළකරන ට්විටර් පණිවිඩ සීඝ්රයෙන් පැතිරෙන්න පටන් ගත්තා.
හිටපු ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙකු ද වන රෝමන් මෙම නිවේදනය සිදු කළේ රෙස්ලින් තරඟයක් අතරතුරදී. රැස්ව සිටි නරඹන්නන් ඇමතූ තිස්තුන් හැවිරිදි රෝමන්, “ඔබ සියලු දෙනා මගේ හීන හැබෑ කළා” යැයි පැවසුවා. “ඔබ මා වෙනුවෙන් ජය ඝෝෂා නැගුවා හෝ මාව ප්‍රතික්ෂේප කළා වුවත් එය වැදගත් නැහැ. ඔබ හැමවිටම මා වෙත ප්‍රතිචාර දැක්වුවා. ඒකයි වඩා වැදගත් වෙන්නේ ඒ වෙනුවෙන් ගොඩක් ස්තුතියි”
ජෝ අනොආයි යන සැබෑ නම ඇති රෝමන්, මෙය තමන්ගේ “විශ්‍රාම යාමේ කතාව” නොවන බවත් සිය රසිකයින් වෙත දන්වා සිටියා. ලියුකෙමියාව සුව වූ පසු “යළි නිවහන වෙත එන” බව ඔහු අවසන් වරට පවසා සිටියා.
“මම මේ රෝගය පරාද කර ආපහු එනවා. ඉතින් ඉතාම ඉක්මණින් ඔබට මාව දැකගන්නට පුළුවන්” යනුවෙන් පැවසූ රෝමන් තාවකාලිකව රෙස්ලින් වළල්ලට සමු දුන්නා.
ඒ හැඟුම්බර කතාවෙන් අනතුරුව ෂීල්ඩ් රෙස්ලිං කණ්ඩායමේ ඔහුගේ සගයින් වන ඩීන් ඇම්බ්‍රෝස් හා සෙත් රෝලින්ස් යන දෙදෙනා ඔහු වැළඳ ගත්තා.