
රියැලිටි වේදිකාවෙන් බිහි වූ බොහෝ නවක තරු නව රැල්ල පෝෂණය කළා මිසක ශික්ෂිත සංගීත මාවතකට නොපිවිසියෝය.
ජනප්රිය සංගීත කලාවෙන් වැජඹෙනවා වෙනුවට නිවී සැනසිල්ලේ රසවිඳිය හැකි ගීත කලාවක් කලා ලෝකයට දායාද කරමින් හෙමි හෙමිහිට සංගීත චාරිකාවේ යෙදෙන්නෙකි ඔහු.
රංඟනයට මෙන්ම නර්තනයටත් එක සේ සමත් ඔහු අප අද හඳුන්වා දෙන්නේ සුභාවිත ගායකයකු ලෙසය. මේ රවීන් කනිශ්කය. ඔහු ගේ සුගායනයෙන් හැඩ වූ අලුත්ම ගීතය ගැන ඔබට කිව යුතුම නිසා අපි මේ වචන ලියා තබමු.
” විසිරී තිබුණා හීන හුඟක්
අහස පුරා විසිරී තිබුණා
අල්ලන්නට බැරි දුරකින්
ලොකු පොඩි තරුකැට විලසින්
අහස පුරා විසිරී තිබුණා
අපෙ හීන ගොඩක්
අහස පුරා විසිරී තිබුණා ”
පායන දා පසුපස මුතු කුඩ ඉහලාන
ආ පිරිවර මහ වැසි දැක කුඩ අකුලාන
පිටුපෑ හැටි පුදුමයි හීන උදුරගෙන
ඒ හීන උදුරගෙන
ජිවන සිත්තම අඳින්න පාට මදිවුණා
පවස නිවූ දිය දෝතක් අහසෙ නැවතුනා
ඉන්න හැටිත් පුදුමයි හීන පුරෝගෙන
තව හීන පුරෝගෙන ”
ජීවිතය යනු සිහින පොදියකින් ගැට ගැහුණ හුස්ම අහුරකටය. සිහින පසු පස හඹා යාමට අපි ජීවත් වනවා යැයි කියමු. එක් සිහිනයක් ඉටුවන විට දහසක් හීන අප අභිමුව ඇත. අප මැවූ සිහින අතරින් ගොඩක් සිහින තිබුණේ අල්ලන්නට බැරි දුරකිනි. ආදරයත් විරහවත් යන සංවේදනාවන් නිර්මාණය වන්නේ එලෙස අල්ලන්නට බැරි ඉඩකය. රවීන් කනිශ්ක ගායනා කරන මේ ගීතයේ ගැඹුරු පද වැල මහේෂ් හේවාපතිරණයන් ගේ ය. සංගීතය සමන් පනාපිටිය නම් වූ විශිෂ්ට සංගීත ඇඳුරානන්ගේ ය.
මියුසික් වීඩියෝවක් නැතිව ගීත රස විඳින්නට නොහැකි පරම්පරාවට රවීන්ගේ ගීත අලුත් අත්දැකීමක් වනවාට සැක නැත. ඒවායෙහි රූප පෙනෙන්නේ දෑස් පියාගෙන සවන්දෙන කල්හීය . චිත්තරූප අන් කිසිදු රූපයකට වඩා බලගතු බව වටහාගනු රිසි අයට රවීන්ගේ අලුත්ම ගීත රසවිඳින්නට අපි ආරාධනා කරමු.