Daily News
Trending

මුරලි පීඩිත මිනිසුන් වෙනුවෙන් හඬ අවදි කරයි.




ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමඟ බීබීසී ආයතනයේ අසාම් අමීන් මාධ්‍යවේදියා සිදු කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා සුවිශේෂී අවධානයක් යොමුව තිබේ. මුරලි මෙහිදී පවතින දේශපාලනය ගැන මෙන්ම උතුරේ ප්‍රශ්නය පිළිබඳවත් වඩාත් ප්‍රගතිශීලී අදහස් දැක්වීමක් සිදු කරයි. දෙමළ ජාතිකයකු වූ මුරලිව මෙරට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ආදී වූ සියළු ජනකොටස් එකම සෙනෙහසින් වැළඳ ගත්හ. මුරලි සිය අදහස් දැක්වීම සිහිපත් කළේ තමන්ට ආචාර කළ සුවහසක් ක්‍රීඩා ලෝලීන්වද ජාති ආගම් බේදයකින් තොරව සිහිපත් කරමින්ය. මුරලිගේ අදහස් දැක්වීම් කිහිපයක් අපි ඔබට මෙලෙස ඔහුගෙ වචනයෙන්ම ඉදිරිපත් කරමු.

” මේක සිංහල බෞද්ධ රට.. මම දෙමළ..හරිද..ඔයා මුස්ලිම්නේ.. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා..අපි ඔක්කොම මිනිස්සු..ළමයා බඩගින්නේ අඬද්දී කන්න දෙන්න බැරි නම් ඔයාට කොච්චර රිදෙනවද..මට මේ රටේ මිනිස්සු උදවු කරලා තියෙනවා..මාව ගොඩ දාලා තියෙනවා..අපිත් පුලුවන් විදියට ඒක කරන්න ඕන ”

පවතින දේශපාලන අර්බුදය මුරලි විස්තර කරන්නේ මෙලෙසය.

” අර්බුද නැති රටක් නෑ. අපි හිතනවා අපේ රට තමයි අර්බුද කියලා. දැන් තියෙන අර්බුදය ගැන ගත්තොත් මොනවහරි ප්‍රශ්නයක් නම් ඕක නීතියෙන් බේරගන්න ”

මෙරට මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්නය කුමක්දැයි මුරලි ප්‍රායෝගිකව විස්තර කරයි. පීඩිත මිනිසාගේ දුක නොහඳුනන පාලක පන්තිය මුරලිගෙන් උගත යුතුය.

” දෙමළ ඇමතිවරු කතා කරනවා අයිතිය, වෙච්ච දේවල්, ප්‍රජාතන්ත්‍රවාදය ගැන මං ඔය දේශපාලනය වැඩිය දන්නේ නෑ. ඇත්තටම කිලිනොච්චියේ වෙච්ච දෙයක්. සති දෙකකට කලින්. අවුරුදු 9ක කෙල්ලක් සියදිවි නසාගත්තා. හේතුව මොකද දන්නවද? නිළ ඇඳුම් ප්‍රශ්නේ. ඒ පවුලේ ළමයි 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ට 12යි. අනිත් එක්කෙනාට 7යි. අනිත් කෙනාට 9යි. තාත්තගේ දවසේ පඩිය දෙසීයයි. අම්මා තමයි ළමයි බලාගන්නේ. බොහොම අමාරුවෙන් එක වේලක් කන්නේ. ඉස්කෝලෙට යවනවා තුන්දෙනාවම. ඒ ඇඳුම් සවුත්තු වෙලා හරි මොකක් හරි වෙලා දෙතුන් පාරක් ටීචර් කිව්වා අලුත් එකක් ගන්න. දැන් කූපන් එකක්නේ දෙන්නේ. අරගෙන මහගන්න ඕන. ඉතින් ඕක ගත්තට පස්සේ මහගන්න රුපියල් 200ක් 250ක් යනවලු. ඒ සල්ලි නෑ. බැලුවා බැලුවා අන්තිමට මේ ළමයා සියදිවි නසාගත්තා. ඒක බලන්න එක්කෙනෙක්වත් එක ඇමතියෙක්වත් නෑ. කවුරුත් දන්නෙත් නෑ. අපේ තියෙනවා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න පදනමක්. එයාලට මේක ආරංචි වෙලා ගිහිල්ලා. මං මේ දුන්නට කියනවා නෙමේ. මං 25000ක් දුන්නා. අනිත් ළමයි දෙන්න වෙනුවෙන් හැම මාසෙම රුපියල් 10000 ගානේ දෙනවා. අඩුම ගානේ මේ වගේ තව එක දෙයක් වත් සිද්ධ නොවෙන්න. එක මන්ත්‍රී කෙනෙක් නෑ එක ඇමතියෙක් නෑ ”

මේ රටේ පළමුව විසඳිය යුතු වන්නේ ඔය තත්ත්වය බව මුරලිගේ අදහසයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආදිය මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවලට දෙවැනිවන බවයි. උතුරට දේශපාලන විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු දක්වන්නේ මෙලෙසය.

” මම කියන්නම්. මම දෙමළ. හරිද. ඔයා මුස්ලිම්නේ. හැම ජාතියකම මිනිස්සු ඉන්නවා. අපි ඔක්කොම මිනිස්සු. මගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ. ඔයාලගෙන් කෑල්ලක් කැපුවත් ලේ යන්නේ. මේවා මේ ඉතිහාසේ ඉඳන් මිනිස්සු හදාගත්තු දේවල්. 1977 දී අපේ ගෙවල් ඔක්කොම පිච්චුවා. අපේ තාත්තගේ තාම තියෙනවා කඩුවෙන් ගහලා මැහුම් 18ක් දාපු එක. බොහොම අමාරුවෙන් තමයි බේරුනේ. ඒත් අපේ තාත්තා රට දාලා ගියේ නෑ. නෑදෑයෝ ඔක්කොම ගියා. ඉන්දියාවේ ඉන්නේ. ඒත් අපි ගියේ නෑ.. 1983 අපිට මොනවත් උනේ නෑ. අපි විස්වාස කරනවා අපි මේ රටේ පුරවැසියෝ. ඇත්ත අපේ සීයලා ආවේ ඉන්දියාවෙන්. ඒ වුනාට අපි දැන් ලංකාවේ පුරවැසියෝ. ජාතීන් වශයෙන් ගත්තොත් වැරදි දේවල් වුණා දෙපැත්තෙන්ම. මං කියන්නේ නෑ සිංහල මිනිස්සු වැරදී කියලා ඔක්කොම. දේශපාලන ගේම් වලදී අයුතු ප්‍රයෝජන අරන් තමයි මේවා කළේ. මුළු රටම විනාශ වුනා. ඒ වගේමයි ප්‍රභාකරන්. එයා පටන් ගත්තා දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්න. මුල් කාලේ කළා. ඒත් ඊට පස්සේ එයත් පටන් ගත්තා මිනී මරන්න. දෙපැත්තෙම මිනිස්සු මැරුණා. දැන් මේ යුද්ධයක් ඉවර කරලා තියෙන්නේ. අපිත් සාධාරණ වෙන්න එපැයි. 80ක්% විතර ඉන්නේ සිංහල බෞද්ධයෝ. ඒගොල්ලන්ට අයිතියි මේ රට. කොච්චර නෑ කිවුවත්. ආගම් වලින් බැලුවොත් අපි සුළු ජාතිකයෝ ”

ජන ජීවිතය සුරක්ෂිත කිරීමේ වගකීම පාලකයාට පැවරෙන බව මුරලි දීර්ඝ වශයෙන් විස්තර කරයි. ඉන් කොටසක් මෙසේය.

” පාර්ලිමේන්තුවට මිනිස්සු යවන්නේ රට පාලනය කරලා මිනිස්සුන්ට යහපතක් කරන්නනේ. ඉතින් බඩු මිල වැඩි වෙද්දී අරක නිසා බෑ. මේක නිසා බෑ කියලා කියන්න බෑ. මොකද දුන්නේ වැඩක් කරන්න. ඒක බෑ කියනවා නම් දාලා යන්න ඕන. නිදහසට කරුණු කියන්න බෑ ”

ජනතා නායකයින් ජනතාවට සංවේදී විය යුතුය. මුරලිගේ විවෘත අදහස් දැක්වීම අපේ රටේ දේශපාලකයින්ට සිතන්නට තව බොහෝ මානයන් පෙන්වා දෙනු ඇත.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close