GossipsHollywood & Bollywood
Trending

බින්දුවට අගයක් ගෙනා ශාරුක්ගේ අඟුටුමිටි රංඟනය.Exclusive Photos & Video

Zero Movie




Zero Movie Exclusive from Starfriends.lk

බින්දුව ගැන බින්දුවට දාලා කතා කළාට බොහෝ අංකවල වටිනාකම වැඩි කරන්නේ බින්දුව. ක්‍රිකට් ක්‍රීඩාවේදී බින්දුවට අවුට් වෙනවා. අතේ සතේ නැතිව අපිව බින්දුවට වැටෙනවා. ඒත් බින්දුවෙන් බින්දුව එකතු වෙලා මහ වැවක් පිරෙනවා. බින්දුවේ තියෙන වටිනාකමත් අන්න ඒ වගේ. මේ දිනවල අති සාර්ථකව තිරගතවන සීරෝ චිත්‍රපටයෙන් අපිට හිතන්න වෙනම මානයක් පෙන්වනවා. අපි අපේ උත්පත්ති ස්වරූපයට කොයි තරම් වෛර කරනවාද? අපිට අහිමි ශරීර ලක්ෂණ සම්බන්ධයෙන් අපි කොයි තරම් මානසිකව තැවෙනවාද? සීරෝ (Zero Movie ) කියන්නේ එහෙම අය බැලිය යුතුම චිත්‍රපටයක්.

බින්දුවේ මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ද වටිනාකම කියාදෙන අපූරු සිනමා නිර්මාණයක් මෙලෙස නිර්මාණය වෙන්නේ බොලිවුඩයේ ආනන්ද් එල් රායි (Anand L. Rai)අධ්‍යක්ෂවරයා විසින්. සීරෝ හි කතා නායකයා අඟුටු මිට්ටෙක්. ඒ තමයි බව්වා සිං, ඔහු ආදරය සොයන තරුණයකු වුණත් මිටි භාවය ඊට පසමිතුරු වෙනවා. ශරීරයෙන් කුඩා තරුණයකු ජීවිතයට මුහුණ දෙන ආකාරය ඉතාම සංවේදීව සීරෝ තුළින් නිරූපණය කෙරෙනවා.

නාසා ආයතනයේ විද්‍යඥවරියකවූ ආෆියා භින්දර් තරුණිය වරක් සිං ට මුණ ගැසෙනවා. විශේෂත්වය වුණේ ඇයත් සෙරිබ්‍රල් පාල්සි නම් ස්නායු රෝගයෙන් පීඩා විඳිමින් රෝද පුටුවේ දිවි ගෙවන තරුණියක් වීමයි. මේ දෙන්නාගේ ප්‍රේමය මැද්දට සුපිරි තාරකාවක වූ බබිතා එන්නේ ඊටත් පස්සේ. ඇය මධුවිතට ලොල් වූවෙක්. එතැන් පටන් සීරෝ කියන්නේ තුන්කොන් ආදර කතාවක්. මෙහි බව්වා සිං ලෙස මිටි චරිතය නිරූපනය කරන්නේ සුපිරි නළු ශාරුක් ඛාන් (Shahrukh Khan) . අෆියා භින්දර්ට අනුශ්කා ෂර්මා ද (Anushka Sharma)බබිතා ලෙස කත්‍රිනා කයිෆ් ද (Kathrina Kaif) එක් වී සිටිනවා.

සීරෝ හි අනුෂ්කා සහ ශාරුක් සිදු කරන වෙනස්ම රංඟනය සම්බන්ධයෙන් මේ වන විට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙමින් තිබෙන බවත් අපිට දැනගන්න ලැබෙනවා.

අනුෂ්කා එම චරිතය නිරූපණය කිරීම සඳහා නිවෙසේ දී පවා මාසයක්ම රෝද පුටුවක සිටි බවත් කියවෙනවා. කත්‍රිනාගේ රංඟනය මුළු සිනමා පටයේම දක්නට ලැබෙන්නේ විනාඩි 25 ක් පමණයි. නමුත් ඇයගේ චරිතය චිත්‍රපටයේ ගලා යෑමට සුවිශේෂී දායකත්වයක් සපයනවා.

අකාලයේ ජීවිතයෙන් සමුගත් බොලිවුඩයේ පළමු සුපිරි තරුව ශ්‍රී දේවියගේ අවසන් රංගනය වන්නේ ද සීරෝ හි ඇය සිදු කළ කෙටි පෙනී සිටීමයි. ආරාධිත කෙටි රංගනයක් වුවද එය සදානුස්මරණීය වුණා.
මෙය ඉන්දියානු රිදී තිරයේ කුරුමිට්ටකුගේ චරිතය ප්‍රධාන චරිතය වූ සිව්වැනි අවස්ථාව බව කියවෙනවා.. මීට පෙර කමල් හසන් ( අපූර්ව සහෝදරාර්හල්), ජොනි ලිවර් ( ආශික් ) , අනූපම් ඛේර් ( ජාන් ඒ මාන් ) යන අය අඟුටු මිටි චරිත නිරූපණය කර තිබෙන බව දැනගන්න ලැබෙනවා.

අනුෂ්කා රඟපාන රෝගී තරුණියගේ චරිතයට මුලින්ම තෝරාගෙන තිබුණේ දීපිකා පදුකෝන්ව. ඒත් දින ප්‍රශ්නයක් නිසා ඇයට ඒ චරිතය නිරූපණය කිරීමට බැරි වුණා. කොහොම වුණත් ඇය එහි විශේෂ පෙනී සිටීමකට සහභාගී වීමට තරම් නිහතමානී වී තිබුණා. සල්මන් ඛාන්, කාජල්, රාණි මුඛර්ජි, ආලියා බාත්, කර්ෂ්මා කපූර්, ජූහි චව්ලා වැනි අතිශය ජනප්‍රිය තරු රැසක් සීරෝ හි කෙටි දර්ශන සඳහා පෙනී ඉන්නවා.

සිනමා පටයේ වැඩි කොටසක් රූ ගත කෙරුණේ මූම්බායි සිනමා නගරයේදීලු. ඊට අමතරව නාසා ආයතනයේ දීත් මෙහි රූගත කිරීම් සිදුව තිබෙනවා. සීරෝට ගීත 4 ක් ඇතුළත්.

සීරෝ නිපදවීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 200ක් වැයවී ඇති අතර එම වියදම දරන්නේ ශාරුක් ඛාන්ගේ බිරිය වූ ගෞරි ඛාන්. ශාරුක් තමන්ගේ 53 වැනි උපන් දිනය සැමරුවේ සිනමා පටයේ පෙම්වතියන් වූ කත්‍රිනා සහ අනුෂ්කා එක්ක. එදිනම සිනමා පටයේ ට්‍රේලරය ද නිකුත් වුණා.

මෙම සිනමාපටයෙහි ට්‍රේලරය, පැය 24 කදී මිලියන 54 කට වැඩි ජනකායක් නරඹා ඇති අතර පැයකදී වැඩිම පිරිසක් නැරඹූ සිනමා පටය ලෙසින් වාර්තා පොතට ද එක්ව තිබෙනවා.

යූ ටියුබයෙන් එය දිනකදී මිලියන 100කට වඩා නැරඹීම ද වාර්තාවක්. දෙසැම්බර් 21 වැනි දින සීරෝ ඉන්දියාවේ තිරගත වීම අරම්භ කළා. ලංකාවේ අපිටත් සීරෝ සිනමාපටය නරඹන්න ඉක්මනින්ම අවකාශය සැලසේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

Zero Movie Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close