Daily News
Trending

බහුතරයක් අපේ ක්ෂේත්‍රයේ ඉන්නෙ කුහකයො. – Harsha udakandha

Harsha Udakandha




Harsha Udakandha Exclusive from Starfriends.lk

හර්ෂ නිර්මාණය කරපු ‘ෆේස් ටු ෆේස්’ සිනමා නිර්මාණයට කලින් ගෝරි සිනමා පටය එළියට දාන්න හිතුවේ ඇයි?

ඒ සිනමා පට දෙක කළේ නිෂ්පාදක කණ්ඩායම් දෙකක්. කොළඹ සන්නිය රිටර්න්ස් කරපු ශර්මාල් තමයි ෆේස් ටු ෆේස් නිෂ්පාදනය කළේ. කොළඹ සන්නිය ළඟදි දීපු නිසා ඒක ටිකක් පස්සට දැම්මා. කොහොමත් මේ අවුරුද්ද අවසානයේ ඒ සිනමා නිර්මාණයත් දැක බලාගන්න පුළුවන්.

සිනමා නිර්මාණ පෝලිමක් තියෙන බව කොයි කවුරුත් දන්නා කරුණක්. මේ ප්‍රශ්නය විසඳෙන්න නම් අවශ්‍ය විසඳුම් මොන වගේ වෙන්න ඕනිද?

මම දන්නා විදිහට සිනමා නිර්මාණ එකසිය ගාණක් පෝලිමේ තියෙනවා. අපේ චිත්‍රපට ව්‍යාපාරයක් වුණොත් තමයි මේ ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පත්වෙලා රැකෙන්නේ. කලාව සහ ව්‍යාපාරය එකට ගැලපිලානේ යන්නේ. අපි චිත්‍රපටයක් කළාම ඒක ප්‍රදර්ශනයට සුදුසුයි කියලා හිතෙනවා නම්, මණ්ඩලයට ඒක විකුණගන්න පුළුවන් කියල හිතනවා නම් කවදාවත් චිත්‍රපට පෝලිම්වල තියෙන්නේ නෑ. ඔය කාරණාව කියන්නේ වැඩ බැරි ටාසන්ලා. මගේ තාත්තා, මුත්තාවත් මේ ක්ෂේත්‍රයේ ඉඳලා නෑ. ඒත් මම කවදාවත් චිත්‍රපට පෝලිමේ තියන් හිටියේ නෑ. මම කරන නිර්මාණ නියමිත ක්‍රමවේදයට කරලා මණ්ඩලයට පෙන්නුවාම තමයි මණ්ඩලවලින් ගත්තේ. චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ කිසිම පෝලිමක් නෑ. ඔය පෝලිම් කතාව බොරුවක්.

සමහරු චෝදනා කරනවා සිනමාව තුළ ඒකාධිකාරයක් ගොඩනැඟිලා කියලා. ඒක ඇත්තක්ද?

මම ඒක පිළිගන්නේ නෑ. ඔය කාරණාවට ඇඟිල්ල දික් වෙන්නේ සුනිල් ආරියරත්න සහ සෝමරත්න දිසානායකට. ඔවුන්ගේ නිර්මාණවල ඒකාධිකාරයක් නෑ. ඔවුන් නිර්මාණයක් කළාම සිනමා ශාලා හිමියන් පොරකමින් බලන් ඉන්නේ ඒ සිනමා නිර්මාණය ගන්න. ඕක අමූලික බොරු චෝදනාවක්. හොඳ නිර්මාණයක් නම් ඕනෑම කෙනෙක් සූදානම් ඒක ප්‍රදර්ශනය කරන්න. ඒ මිනිස්සුන්ටත් අවශ්‍ය මුදල් උපයන්නනේ.

වර්තමාන ලාංකේය සිනමාව ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම මට ඒ ගැන කිසිම තෘප්තියක් නෑ. ලංකාවේ සිනමා ක්ෂේත්‍රය කර්මාන්තයක් විදියට ගොඩනංවන්න පුළුවන් අධ්‍යක්ෂවරුන්ට සහ නිෂ්පාදකවරුන්ට හොඳ නිර්මාණ කිරීම තුළින්. නමුත් කොච්චර හොඳ ප්‍රමිතියට නිර්මාණ කළත් ප්‍රේක්ෂකයින් සිනමාහල්වලට එන්නේ නෑ. හේතුව හෝල්වල තත්ත්වය නිසා. අද ලංකාවේ සිනමාහල්වලින් බහුතරයක තවමත් තියෙන්නේ ලී පුටු එක්කෝ වහලේ හිල්. නමුත් කොළඹ එහෙම නෑ .කොළඹ හොඳ නවීන සිනමාහල් තියෙනවා. ඒවාට හොඳට සෙනඟත් එනවා. එහෙම නිවීකරණය කරපු නැති සිනමාහල්වලට ඔවුන් කවදාවත් එන්නේ නෑ. මකුණන් කකා, වැස්සට තෙමි තෙමී චිත්‍රපට බලන්න කවුරුත් කැමති නෑ. හෝල්වල ප්‍රශ්නය හැරෙන්න චිත්‍රපටවල කිසිම ගැටලුවක් නැහැ.

තරුණ අධ්‍යක්ෂවරුන්ට ක්ෂේත්‍රයේ ප්‍රවීන අධ්‍යක්ශ්‍යවරුන්ගෙන් මොන වගේ සහයක්ද ලැබෙන්නේ?

මම නම් දන්නේ නැහැ කොහොමද කියල.මොකද මම කිසිම සංගමෙකත් නෑ .මම කිසිම අධ්‍යක්ෂවරයෙක් එක්ක පුද්ගලික ඇසුරකුත් නෑ. ඒකට හේතුව මිනිස්සුන්ගේ තියෙන කුහකකම නිසා. ඒ කුහකත්වයත් එක්ක මම පොඩ්ඩක් තනිවෙලා ඉන්නේ. ඒ නිසා මම මගේ ගමන තනියෙන් යන්නේ. එක කරුණක් මම දන්නවා ප්‍රවීන සහ නවක කියල කාරණාවක් නෑ, බහුතරයක් ගත්තොත් අපේ ක්ෂේත්‍රයේ ඉන්නේ කුහකයෝ. එකෙක්ට එකෙක් නෑ .

බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාව ගැන ලෝකෙම කතා කරනවා සහ නරඹනවා. ලංකාවේ සිනමාව ඒ මට්ටමට එන්න තව කොතරම් කාලයක් ගත වෙයිද?

ලංකාවේ හෝ ඕනෑම රටක සිනමා කර්මාන්තයට පැවැත්මක් තියෙන්නේ වාණිජ සිනමා නිර්මාණ නිසා. අපේ රටේ අය කොහේ ගිහින් සම්මාන ගත්තත් ඒ ගත්තේ කලාත්මක සිනමා නිර්මාණවලට. කලාත්මක සිනමාවේදී මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. සමහර වෙලාවට අධ්‍යක්ෂවරයා දන්නෙත් නෑ චිත්‍රපටයේ තේරුම මොකක්ද කියලා. ඒ වගේ නිර්මාණනේ ලංකාවේ හැදෙන්නේ. ජූරියේ ඉන්න අය ඒක නරඹලා හිතනව මේව තමයි චිත්‍රපට” කියලා. ඔන්න දෙනවා සම්මානය. හැබැයි ඉන්දියාව වගේ රටවල කලාත්මක සිනමා සම්මාන උළෙලවල් තිබුණත් ප්‍රධාන පෙළේ සම්මාන උළෙලවල් තියෙන්නේ වාණිජ සිනමාවට. අපේ සම්මාන උළෙලවලදී කවදාවත් හොඳම නළුවා හෝ නිළිය සම්මානය දෙනවද කලාත්මක සිනමා නිර්මාණයකට හැරෙන්න එක වාණිජ සිනමා නිර්මාණයකටවත්. ඒ වගේ තමයි ඉන්දියාවේ මාධ්‍ය සිනමාවට ගොඩක් උදව් කරනවා.

සිනමා නිර්මාණයකට කොයි තරම් දුරට විචාරය කියන දේ අවශ්‍යයි කයලද හර්ෂ හිතන්නේ ?

කලාත්මක සිනමා නිර්මාණයකට විචාර ආවට කමක් නෑ. කලාත්මක නිර්මාණයන් තුළ විචාර දිගේ ගිහින් අපිට හිතන්න දේවල් තියෙනවා. එත් ඒක ලියා ගන්න විචාරකයින් කියන අය දන්නේ නෑ. එයාලා දන්නේ වාණිජ සරල සිනමා නිර්මාණයක තියෙන නියපොතු ටිකයි අනම් මනම් ගැනයි උඩ දාගෙන ලියලා පොර වෙන්න. මම හිතන විදිහට කොමර්ෂල් සිනමාපටවලට විචාර අවශ්‍ය නෑ.

Harsha Udakandha Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close