
සෑම පෙබරවාරි 4 වැනිදාවකම අපි අභිමානවත්ව සමරන නිදහස ගැන කියවෙන අපූරු සිනමා කෘතියක් ළඟදීම තිරගත වෙනවා.
ලක්ෂ නවසියයක් වගේ දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරලා නිෂ්පාදනය කරපු මේ සිනමා කෘතිය හඳුන්වන්නේ “නිදහසේ පියා” කියලා.
ඩී එස් සේනානායක චරිතාපදානය තමයි මේ විදියට සිනමාවට නැඟෙන්නේ. ඉතින් සිනමා කෘතියට දීපු නමත් එක්ක සමාජයේ මේ සම්බන්ධයෙන් සංවාදයක් මතු වුණා.
ඇත්තටම නිදහසේ පියා කවුද? නිදහසට එහෙම පියෙක් ඉන්නවද?
සාමාන්‍යයෙන් කොහෙත් වෙන්නේ මොකක් හරි දෙයක් සාර්ථක වුණාම ඒකට ඇති තරම් පියවරු පහළ වෙන එකනේ.
1815 නෙමෙයි ඊටත් කලින් ඉඳලා විජාතික කෙනෙහිලිකම්වලට අපේ රට ගොදුරු වුණා. ඒ සා විශාල කාලයක් මේ රටේ ස්වාධීනත්වය උදෙසා හැප්පුන අති විශාල පිරිසක් ඉන්නවා. දැන් එතකොට කවුද නිදහසේ පියා…??
මේක මේ අපිට ආපු ප්‍රශ්නයක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් ලැබුණ ප්‍රතිචාර ගොඩේ තිබුණ විවේචනයක්. ගොඩක් අය ප්‍රශ්න කරපු තැනක්.
ඒ නිසා අපිටත් ඒ කතාව ගැන ටිකක් හිතන්න ඕනේ කියලා හිතුණා.
නිදහස කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. දැන් එතකොට ඒ නිදහසට කොයින්ද පියෙක්? ඒත් ඩී එස් සේනානායක මැතිතුමා කියන්නේ එවකට ලංකාවේ දේශපාලන බලය දිනා ගෙන සිටි අතලොස්සෙන් කෙනෙක්. එතුමන් මේ රටටම ඒ නිදහස දිනා දෙන්න මොළයෙන් සටන් කළා. එතැනින් එහාට ඩී එස් කියන්නෙ කෘෂි කර්මාන්තයට ජීවය දුන්න නායකයා. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා.
මේ ඔක්කොම ඇත්ත වුණත් නිදහසේ පියා කියන නම ඔහුට සින්නක්කරවම දෙන්න පුළුවන්ද?
නිදහස දිනා ගැනීම උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පුරන් අප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා, වගේ අයත් සාහිත්‍ය සහ ආගමික සටනට දායක වූ පිරිසත් මේ නිදහසේ කොටස් කරුවන් නොවේද?
ඇත්ත. නිදහස කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. නිදහස උදා කරගැනීම උදෙසා මැරුම් කෑ සියදහස් ගණන් ජනතාවගේ ලේ මතින් තමයි මේ නිදහසට යන මාවත සැකසෙන්නේ.
ඉතින් නිදහසේ පියා සිනමා කෘතියෙන් ඒ අභමානවත් මිනිස්සුන්ට අසාධාරණයක් වෙනවද?
මේක මෙහෙම කතා කරලා තේරුමකුත් නැහැ. සිනමා කෘතිය තුළ ඩී එස් චරිතය උත්කර්ෂයට නංවන්නේ කොහොමද කියලා හොයලා බලන්න වෙනවා. ඒකට මේ නිර්මාණය විඳින්නම ඕනේ.
නිදහසේ පියා සිනමා කෘතියට හොඳ සංවාදයක් ගොඩ නඟන්න හැකිව තිබෙන බව පේනවා. ඒ සංවාදය තව දුරටත් පෝෂණය කරන්න කෘතිය නරඹලාම ඉමු.