
LUCIFER Movie Exclusive from Starfriends.lk
බලය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් ඉන්න මිනිස්සු ඉන්න රටක දේශපාලනය කියන්නෙ ඇත්තටම අපිට සෙතක් සැලසීම කියන අදහස මූලික කරගෙන එන දෙයක් නෙවෙයි. එයාලගේ වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන් කියන අදහස මූලික කරගෙන එන එකක්. පක්ෂ නායකයෙක් පත්වීම, මන්ත්‍රී පට්ටම් හම්බ වීම, පක්ෂෙට අරමුදල් හම්බ වීම විතරක් නෙවෙයි ඡන්දයක් දිනලා බලයට පත්වීම කියන එකත් අන්ත දූෂිත විදිහට සිද්ධවෙන්නෙ පෙර කියපු එයාලගේ වැඩ ටික පහසුවෙන් කරගන්න පුළුවන් වෙන්න. මෙච්චර කල් මෙලෝ රහක් නැති විදිහට ප්‍රේක්ෂයා වෙතට අරං ආපු ඒ කතා සේරම Lucifer හරිම ආකර්ශනීය විදිහට ප්‍රේක්ෂකයාට සමීප කරනවා. ඒකෙ සාර්ථකත්වය මේ චිත්‍රපටය මේ වෙනකොට උපයලා තියෙන ආදායම් වාර්තා බැලුවාම හොඳටම ඔප්පු වෙනවා.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙච්චර කාලයක් මලයාලම් සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතය නිරෑපණය කරපු Prithviraj Sukumaran. ප්‍රධාන චරිත විදිහට මලයාලම් සිනමාවේ ස්ටාර් විදියට හඳුන්වන Mohanlal දායක වෙනවා. සෙසු නලු නිළියන් විදියට Vivek Oberoi / Tovino Thomas / Prithviraj Sukumaran / Indrajith Sukumaran / Saniya Iyappan / Saikumar / Kalabhavan Shajohn / Nyla Usha / Giju John / Baiju / Fazil / Sachin Khedekar / Suresh Chandra Menon වගේ නලු නිළියන් රැසක් මේකට සම්බන්ධවෙනවා.
චිත්‍රපටය සදහා දරා ඇති පිරි වැය INR 2,500,000. විනාඩි 175 කාලය තුළ අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙනIMDb දර්ශකයේ 7.8/10 අගයක් සහ Rotten Tomatoes දර්ශකයේ 86% ක අගයක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ආදායම් අතින් මේ වනවිට තබා තිබෙන වාර්තා ගණන ගැන වෙනම සටහනක් වුනත් ලියන්න පුලුවන්.
· එදා මෙදා ඉන්දීය සිනමා ඉතිහාසය තුළ මෙතෙක් වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් ලබා ගත් මලයාලම් චිත්‍රපටිය
· වැඩිම විදෙස් ආදායම් හිමි එකම මලයාලම් චිත්‍රපටිය.
· සෞදි අරාබියේ ඉහළම සතිඅන්ත ආදායමෙන් කැප්ටන් මාවර්ල් සිනමාපටය පවා දෙවැනි ස්ථානයට දැමූ ඉන්දීය චිත්‍රපටය.
· ශාරුක් ඛාන්ගේ ආදායම් වාර්තා පවා බිඳ දමමින් ගල්ෆ් කලාපයේ ඉහළ ආදායම් ලැබූ එකම මලයාලම් සිනමාපටය.
· දින 8ක් ඇතුළත ඉන්දිය රුපියල් බිලියනක ආදායම් ලැබූ දකුණු ඉන්දීය චිත්‍රපටය.
· 2018 වසරේදී ඉන්දීය සිනමාව ආදායම් අතින් පහළට ඇද වැටුනත් 2019 වර්ෂයේ තිරගත වූ විශ්වාසම්, සර්ජිකල් ස්ට්‍රියික් වැනි සිනමා පට මඟින් එය නැවත නගා සිටුවීමට සමත් විය. එහෙත් එය තවත් කණපිට පෙරලීමට තරම් සමත් වූයේ ලුසිෆර් යි.
ලුසිෆර් කෙරළ දේශපාලනය වෙනස් කළ මාෆියා කල්ලියක නායකයෙක්. PKR කියන දේශපාලනඥයා මියගියාට පසු ඔහුගේ මහ ඇමති කමට ඉව අල්ලමින් විශේෂයෙන් බල ලෝභී දේශපාලනයට ගිජු කමින් කටයුතු කරන පුද්ගලයෙකු පසුපස තමයි මේ කතාව දිවෙන්නේ. නමුත් මේ සියල්ල කණපිට පෙරලෙන්නේ ලුසිෆර්. ඇත්තටම ඔහුගේ නම ලුසිෆර් නෙවෙයි. ෆේස්බුක් එකේ ලයිව් වීඩියෝවක් හරහා විවිධ ගොසිෆ් ප්‍රචාරය කරන පුද්ගලයෙකු විසින් මෙම සිදුවීම් සියල්ල පිළිබඳ ෆේස්බුක් එකට ලයිව් වීඩියෝ එකක් කරන ගමන් කියන නම තමයි ලුසිෆර්. ලුසිෆර් කියන අන්වර්ත නාමයෙන් හඳුන්වන මොහුගේ සැබෑ නම ස්ටෙෆන්. සාමාන්‍ය අනාථ නිවාසයක් කරමින් ජනතා සේවයේ නිරතවන පුද්ගලයෙක්. නමුත් මොහුට ජාත්‍යන්තර රත්‍රන් ජාවාරමක් පිළිබඳ චෝදනා පවතිනවා.
මේ සිදුවීම් සියල්ල අතරේ PKR ගේ බෑනා ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ ගිවිසුමකට එළඹෙනවා. ඒ ගිවිසුම අනුව කේරළයේ මහඇමති ධුරය ලබා ගැනීමට උදව් කළහොත් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීමට සහාය පළ කරන බවට පොරොන්දු වෙනවා. නමුත් ඔහු මුම්බායේ සිටින දරුණුම පාතාල කල්ලි නායකයෙක්. මේ සියල්ල අතරතුර මාධ්‍ය ආයතනයන් විසින් ලුසිෆර් එනම් ස්ටෙෆන්ට විරුද්ධව මඩ ප්‍රචාරයක් දියත් කරනවා. ඒ හේතුවෙන් ස්ටෙෆර් බන්ධනාගාර ගත කරනවා. බන්ධනාගාරය තුළදී රහසේ ස්ටෙෆන්ට දුරකථන ඇමතුමක් එනවා. ඒ දකුණු ආසියාවේ දරුණුම මැර කල්ලි නායකයා වන සෙය්ඩ් මසූඩ් (Zayed Masood) ගෙන්. ඔහු ස්ටෙෆන්ගෙන් අහනවා මොකද්ද වෙන්න ඕන කියලා. ඒ අවස්ථාවේ නිහඩව සිටින ස්ටෙෆන් පසුව ඔහුගෙන් උදව්වක් ඉල්ලනවා.
කතාව ඒ විදියට ගලාගෙන ගියත් මේ කතාවේ අවසානය කාටවත් හිතාගන්න බැරි විදිහට සැබෑ ස්වරූපයෙන් එළියට එනවා..
සමස්ත චිත්‍රපටිය පුරාම සාම්ප්‍රදායික ඉන්දීය සිනමාපට තුළ පවතින අතාත්වික බවින් දුරස්වීමක් දක්නට ලැබෙනව. මෙහි ගීත කිසිවක් නැහැ. ඒ වගේම සටන් දෙකයි පවතින්නේ. ඉන් එක් සටනක් ස්ටෙෆන් නොහොත් ලුසිෆර් විසින්ද අනික සෙයිඩ් මසූඩ් කල්ලිය විසින්ද සිදුකරනවා. සාම්ප්‍රදායික ඉන්දීය සිනමාවේ පවතින අතාත්වික ගැටුම් සම්ප්‍රදාය මෙහි දකින්න හම්බවෙන්නෙ නෑ. ඒ බව සමස්ත සිනමාපට පුරාම දක්නට ලැබෙනවා. කැමරා රූපරාමු පවා අලංකාර රූපරාමුවලට වඩා අර්ථාන්විත රූපරාමු ලබා ගැනීමට කැමරා ශිල්පියා කටයුතු කර ඇති බවක් තමයි දකින්න ලැබෙන්නේ..
කොහොම වුනත් ලුසිෆර් කියන්නේ එකපාරක් බැලුවම දෙපාරක් බලන්න පුළුවන් ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ප්‍රධාන චරිතය රඟපාන මොහාන් ලාල් තමන්ගේ චරිතයට 100%ක් සාධාරණය ඉටු කරනවා. වයස අවුරුදු 58ක් වන මොහාන් ලාල් මේ වසරේ තිරගත වූ ඕඩියන් මානික්‍යම් වැනි චිත්‍රපට හරහා විශාල රසික ආකර්ශනයක් අත්කර ගත්තා.
LUCIFER Movie Exclusive from Starfriends.lk