
දවසක් දිලිනිට අරුම පුදුම පාර්සලයක් ලැබිලා තියෙනවා. මේ පාර්සලය ගෙනාපු කෙනා ඒක දිලිනි අතට දීලා තියෙන්නෙ අඹ මල්ලක් කියලා තමයි. අඹ කන්න කවුද අකමැති. ඉතිං දිලිනි හනිකට පාර්සලයට අතදාලා තියෙනවා. ඒත් එක්කම එකපාරටම පාර්සලය ඇතුලෙන් මහ තඩි ගෙම්බෙක් එලියට පැනලා. දිලිනිට උතුර දකුණ මාරුවෙලා මහ හයියෙන් ලතෝනි දීලා. මේ සද්දෙට අහල පහළ ගෙවල්වල මිනිස්සුත් දිලිනිලගේ ගෙදරට ඇවිත්. එදා ඉතිං දිලිනිට ගෙඹි පාර්සලය දීපු කෙනා දිලිනිගේ අම්මගෙනුයි තාත්තගෙනුයි හොඳටම බැනුම් අහගෙන. ඒ වෙන කවුරුවත් නෙමෙයි. දිලිනිගේ මල්ලි තමයි ඒ අසමජ්ජාති විහිළුව කරන්නෙ. එහෙම කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. දිලිනි කුඩා කාලයේ පටන්ම ගෙම්බොන්ට පරාණ බයයිලු. පොඩි ළමයි වැස්සට ආස වුණාට දිලිනි වැස්සට අකමැති හේතුවත් ඔන්න ඔය ගෙඹි භීතියලු. දොර අරිද්දි ගෙම්බෙක් ගෙට එයි කියන භීතියෙන් තමයි වැහි කාලෙට දිලිනි ඉන්නෙ. ෂූටින් වලට ගියාම දිලිනි යන්නෙ එයාගෙ සීයා එක්කලු. සීයා කලින් වටපිට ගෙම්බෝ ඉන්නවද කියලා සර්ච් කරනවලු. ඊට පස්සේ තමයි දිලිනි හිතේ නිදහසින් ෂූටින් වැඩවලට සම්බන්ධවෙන්නෙ. දිලිනිලගේ ගෙදර මිදුලේ පත සයිස් ගෙම්බෙක් ඉඳලා තියෙනවා. මෙයාව දිලිනිගේ වදේ නිසාම ඈතකට ගෙනිහින් දාන්න ගෙදර උදවිය කටයුතු කරනවා. හැබැයි ඒ ගෙම්බා ආයෙත් පහුවදාට දිලිනිලාගේ වත්තේ ඉන්නවලු. අන්තිමේ බැරිම තැන ගෙම්බව අමු සොහොනකට ගෙනිහින් දැම්මලු. ඔන්න ඔහොමයි දිලිනිගේ ගෙඹි භීතියේ හැටි.