Daily News
Trending

තරුවක් වෙන්න බලාපොරොත්තුවක් නෑ – චානුක ප්‍රබුද්ධ




නම – මිල්ලනියගේ චානුක ප්‍රබුද්ධ

ගම – කොළඹ

උස – 6 යි 2යි

වයස – 26

විනෝදාංශ – ජිම් යනවා, නිදාගන්නවා, මූවීස් බලනවා.

දැනට ලංකාවේ උසම නළුවද?
අනේ ඒක නම් හරියට කියන්න බෑ. මං හිතන්නේ නෑ

පාසල් ගියේ?
කොළඹ ආනන්දෙට

අධ්‍යාපනය?
උසස්පෙළට ව්‍යාපාර අධ්‍යනය කළා. ඊටපස්සේ ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කළා. දැන් MB එක පටන් ගන්නවා.

පවුලේ විස්තර?
මට ඉන්නේ ආච්චියි. අක්කයි. අක්කා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ

රංඟනයට ආවේ?
ශාන්ත සොයිසා මහත්මයාගේ මිතූ කතාවෙන්

අභියෝග ගැන මොකද හිතන්නේ?
පළමු නිර්මාණයම අභියෝගයක් වුණා. ඒකේ තිබුණා ටවල් එකක් විතරක් ඇඳගෙන ජනාකීර්ණ ප්‍රදේශයක බස් හෝල්ට් එකක සිටින සහ බස් රථයක යන දර්ශනයක්.

ප්‍රසිද්ධියේ අඩ නිරුවතින් හිටියා කියලා බැනුම් ඇහුවේ නැද්ද?
අපෝ බැනුම් ඇහුවා එදා පාරේ හිටපු මිනිස්සුන්ගෙන්. එයාලා දන්නේ නැහැනේ රංඟනයක් කියලා.

ඇයි ඒවගේ දෙයක් කරන්න කැමති වුණේ?
අභියෝගවලට ආසයි පොඩි කාලේ ඉඳලම. මුල්ම ඩ්‍රාමා එක නිසා ඒ අභියෝගය අතාරින්න හිතුනේ නෑ. මං හිතුවා ඒ නිර්මාණය මගේ ගමනට ආලෝකයක් වෙයි කියල.

රංඟනයේදී ඕනම අභියෝගයක් භාරගන්නවද?
ඔව්. අනිවාර්යයෙන්ම

නිරුවත් දර්ශනයක් වුණත් ?
නෑ… නෑ එහෙම ඒවා නෙමෙයි, සමාජයට හොඳ පණිවුඩයක් දෙන්න පුළුවන් ඕනම රංඟනයක් භාරගන්නවා.

දැන් දැන් ප්‍රේම ආරාධනා ලැබෙනවා ඇති නේද?
තවම මම ගමන පටන්ගත්තා විතරයි. ඒ නිසා ඒවා ගැන හිතන්නේ නෑ. තව ගොඩක් දුර යන්න තියෙනවානේ.

ඒ කියන්නේ පෙම්වතියක් නෑ?
දැනට නම් නෑ.

ෆැෂන් කරන්න කැමතියිද?
ඔව්. මම මේ ෆීල්ඩ් එකට එන්නේ නිරූපණ ශිල්පියෙක් විදියට. ඒ නිසා ෆැෂන් කරන්න කැමතියි. දැනටත් නිරූපණ කටයුතු සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ.

ඇඳුම් ගන්නෙ කොහෙන්ද?
අක්කා තමයි මට ඇඳුම් එවන්නේ. මම කැමති බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. අක්කා මාස තුනකට විතර සැරයක් ඇඳුම් අරගෙන එවනවා. මොඩ්ලර් කෙනෙක් හැටියට මට ඇඳුම් වලට ස්පොන්සර්ෂිප් එකකුත් තියෙනවා.

නළුවක් වෙනවටත් වඩා අමාරුයි තරුවක් වුණාම. චානුකටත් එහෙම වෙලාද?
අනේ මම තවම නම් තරුවක් වෙලා නැහැ. මිතූ කතාවට වගේම මේ දවස්වල විකාශයවන සකූගේ කතාවටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා . ඒත් මම තරුවක් නම් නෙමෙයි. මම ඒවා හිතන්නෙත් නැහැ . පටන්ගත්ත ගමන ඉදිරියට යනවා. එච්චරයි

රියැලිටි වේදිකාවට ආවා නම් ඉක්මනට තරුවක් වෙන්න තිබුණා ?
රියැලිටි වේදිකාවට නම් එන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ.

රංඟන ක්ෂේත්‍රයේ සමීපතමයන් කවුද?
මුණගැහුන හැමෝම සහෝදර සහෝදරියන් වගේ. ඒ හැමෝම ගොඩක් උදව් කළා. ඉදිරියටත් හැමෝම එක්ක සහයෝගයෙන් මේ ගමන යනවා.

ජීවිතයේ ගොඩක්ම සතුටු වුණේ?
මගේ උපාධිය ගත්ත දවසේ. මං හිතුවේ නෑ මට උසස් අධ්‍යාපනය දක්වා යන්න ලැබෙයි කියලා. මොකද මම ඉස්කෝලේ කාලෙ ක්‍රීඩා කරපු එක තමයි කළේ

මොනවද කරපු ක්‍රීඩා?
රගර්, ස්විමින්, බාස්කට් බෝල්… වගේ කීපයක්ම කළා. අධ්‍යාපන කටයුතු එක්ක ඒ සියල්ල අතහැරුණා.

ජිවිතයේ වඩාත්ම දුක් වුණේ?
මගේ අම්මා නැතිවෙනකොට මට අවුරුදු 03යි. ඒ නිසා මට හරියට ඒ ගැන මතක නැහැ. ඒත් තාත්තා නැතිවුණේ මීට අවුරුදු දෙකකට කලින්. ඒ දවස තමයි ජීවිතයේ වඩාත්ම දුක් වූ දවස.

කවදා හරි ලංකාව හැර යනවද?
මං පටන්ගත්ත ගමනක් තියෙනවා. ඒ ගමන හරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සඳහටම විදෙස්ගත වෙන්න නම් අදහසක් නෑ

ඔබට මුණගැහුණ අභියෝගාත්මකම රංඟන ශිල්පියා කවුද?
ඒ මම. ෆීල්ඩ් එකට ආපු අලුත් කෙනෙක් විදියට දැන්ම තව කෙනෙක්ව අභියෝගයක් හැටියට නම් කරන එක අනුවණ කමක්. මං මටම අභියෝගයක් වෙලා මේ ගමන යනවා.

අරමුණ?
දක්ෂ චරිතාංග රංඟන ශිල්පියෙක් වෙන්න ආසයි. තව පෞද්ගලික අරමුණු තියෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමකරන්න තමයි දැනට බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අරමුණු වෙනස් වෙන්න වගේම අලුත් වෙන්නත් පුළුවන්.

ගායන හැකියාවක් තියෙනවද?
බැරිම නෑ. අහගෙන ඉන්න පුළුවන් තරමට සින්දුවක් කියාගන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකුවටම නම් බැහැ.

සකූගේ කතාවේදී චනුක ගායන තරුවක්. ඒ වෙනුවෙන් සූදානම් වුණේ කොහොමද?
ඒ චරිතය වෙනුවෙන් කැපවෙන්න සිදුවුණා. වයලින්, ගිටාර්, බෙර වගේ වාද්‍ය භාණ්ඩ ප්‍රැක්ටිස් කළා. සමහර තැන්වල මගේම කටහඬින් සින්දු කිව්වා. හැබැයි කවුරුවත් ඒවා හරි නෑ කියලා නම් කිව්වෙ නෑ. ඒ නිසා ගායනය රැකියාවක් නොවුණට යාන්තම් සින්දුවක් කියාගන්න නම් බැරි නැහැ.

Tags
Show More
Close