
හොලිවුඩ්වල සිටින සරාගී ගායිකාවක් සහ රංගන ශිල්පිනියක් වන ජෙනිෆර් ලෝපේස් පහුගිය දවසක හරි අපූරු ඇඳුමකින් සැරසී තිබුණා. මේක ඇඳුම් විලාසිතාවක්ද නැතිනම් බූට් විලාසිතාවක්ද කියලත් කියාගන්න අපහසුයි. කොහොම හරි මේ විලාසිතාව ලොව පුරා අවදානය දිනාගන්නත් සමත් වුණා. ඒක කොයි තරම් අපූරු එකක්ද කියනවා නම් ඒ දිහා බලපු කෙනෙක් වරක් දෙවරක් නොව කිහිප වරක්ම ආයෙ බලනවාට සැකයක් නැහැ. ඇත්තටම ඒක ඇඳුමක්ද? නැතිනම් බූට් දෙකක්ද? එහෙමත් නැතිනම් ඒක හදිසි අනතුරක්ද කියලා එකපාර තීරණය කරගන්න අපහසුයි. බැලූ බැල්මට පෙන්නේ ඇය හැඳ සිටි ඇඳුම ගැලවිලා කකුල් දෙක ළගට වැටිලා වගේ. ඇත්තටම මේක බූට් යුගලයක්. මේ විලාසිතාව සමාජ ජාල මාධ්ය කළඹන්නත් හේතු වුණා. අති බහුතරය මේ විලාසිතාවට බනිද්දි සමහරු නම් කිව්වේ මේ වගේ විලාසිතාවකට මුහුණ දෙන්න පුළුවන් ඇයට පමණයි කියලා. ඇය නම් සැබෑවටම ෆැෂන් අයිකන් එකක් බවත් බොහෝ දෙනාට නැවත නැවතත් පිළිගන්න සිදු වුණා. ජෙනිෆර්ගේ මෙම තෝරා ගැනීම විලාසිතා රැල්ලකට මග පාදනු ඇති බවටත් සමහරුන් අනාවැකි පළකරන්න පටන් ගත්තා. ඩෙනිම කියන්නේ කවදාවත්ම විලාසිතා ලෝකයෙන් ඉවත් කරන්න බැරි විලාසිතාවක්. ජෙනිෆර් පෙන්වා දුන්නේ ඒ සත්යය. ඉස්සරහට ලංකාවටත් මේ බූට් විලාසිතාව බෝවෙන්න පුළුවන්. මොකද ජෙනිෆර්ගේ බූට් විලාසිතාව ලංකාවේ අය අතරත් කතාබහට ලක් වුණා.