
Escape Room Movie Exclusive from Starfriends.lk
මේ අවුරුද්දේ ජනවාරි මාසයේදී ලෝකේ පුරාම ප්‍රදර්ශනය අරඹපු Escape room හොලිවුඩ් සිනමාපටය උගුල් වලින් ගහන වෙච්ච සමාජ සංස්ථාව ගැන කියන සංකේතාත්මක නිර්මාණයක්. සරලම අර්ථයෙන් ගත්තොත් Escape room සිනමාපටය නිර්මාණය කරන්න පාදක වෙන්නේ Escape game කියන ජනප්‍රිය බටහිර ක්‍රීඩාව. මේ ක්‍රීඩාව physical puzzle game එකක් විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. මේක මානසික ශක්තියත්, ශාරීරික ශක්තියක් එකතු කරගෙන කරන්න සිද්ධවෙන ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කරන්න තෝරා ගන්නේ ගෘහස්ත ස්ථානයක්. සමහරවිට කාමරයක්, එකිනෙක කාමර සම්බන්ධ කරපු වෙනත් ගෘහස්ත ස්ථානයක් වුණත් මේ වෙනුවෙන් යොදා ගන්නවා. ඒ ස්ථානයෙන් පිටවන ආකාරය ක්‍රීඩාකරුවන් සොයා ගත යුත්තේ ස්ථානයට ඇතුළු වුණාට පස්සේ ඔවුන්ට ලැබෙන විවිධ ජාතියේ ඉඟි, ප්‍රහේලිකා, තේරවිලි වගේ දේවල් උපයෝගී කරගෙන. කිසිම අවස්ථාවක පිටවන ආකාරය ගැන සෘජු මඟපෙන්වීමක් කාටවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා හැම තප්පරේකම අවධානයෙන් ඉඳීම අත්‍යවශ්‍යයි.
මේ ක්‍රීඩාව ලෝකේ පුරා ජනප්‍රිය වෙන්න අරගෙන තවම වසර දහයක්වත් ගෙවී ගිහින් නෑ කොහොම වුණත් මේක මාරාන්තික ක්‍රීඩාවක් විදිහටත් හඳුන්වලා දෙන්න වුණත් පුළුවන්. මොකද මේ ක්‍රීඩාවේ යෙදුණු 15 හැවිරිදි පෝලන්ත ජාතික ගැහැනු ළමයකු පසුගිය ජනවාරි මාසයේ 4 වැනිදා ජීවිතක්ෂයට පත්වුණා. අදහාගත නොහැකි කාරණය වෙන්නේ මේ සිනමාපට මුල්වරට එළිදක්වන්නේත් පෝලන්ත දැරිය මියගිය දවසේමයි. ඒ සිදුවීම සමඟ සිනමාපටයේ ජනප්‍රියත්වය වැඩි වුණා. නමුත් එකම දවසක සිනමාපටයේ අත්දැකීමට සමාන විදිහට ජීවිතයක් අනතුරට ලක්වුණේ කොහොමද කියන දේ තවම ප්‍රහේළිකාවක්.
සිනමාපටයට අනුව ආගන්තුකයන් හය දෙනකු එකම තැනකදී මුණ ගස්වන්නේ ඔවුන් වෙත පැමිණි අමුතුම ජාතියේ ආරාධනාවක් හේතුවෙන්. ඔවුන්ට ආරධනා ලැබෙන්නේ Escape room ක්‍රීඩාවට. ආරාධනාව ලැබෙන්නේ අපූරු ජාතියේ කළු පෙට්ටියකින්. ජයග්‍රාහකයන්ට විශාල මුදල් ත්‍යාගයක් හිමිවන බව එම ආරාධනාවේ දක්වා තිබෙන නිසා ඔවුන් කවුරුත් මේ ආරාධනාව ඉවත දමන්නේ නෑ. නියමිත ස්ථානයට ඔවුන් හයදෙනා පැමිණෙනවා. විවිධ පසුබිම්වල සිට පැමිණි පිරිස් එතැනදී හඳුනාගන්නවා. නමුත් ඔවුන් අතරින් එක් අයකුට ඒ අවස්ථාවේ ක්‍රීඩාවෙන් ඉවත් වෙන්න අවශ්‍ය වුණත් ඔහුට ඉවතට යන්නට ලැබෙන්නේ නෑ. සියලු දෙනාම කලබලයට පත් වුණු අවස්ථාවේ ක්‍රීඩාව ආරම්භ වෙනවා. මුලින්ම ඔවුන් සිටින කාමරය ගිනි ගන්නට පටන් ගන්නවා. ඔවුන් සියලු දෙනාටම සිද්ද වෙනවා ජීවිතය බේරා ගන්නට එතැනින් ඉවත් වෙන්න. ඒ වෙනුවෙන් ඉඟි, ප්‍රහේලිකා, තේරවිලි බොහොමයක් ප්‍රයෝජනයට ගන්න ඔවුන්ට සිද්ද වෙනවා. සියලුම උපක්‍රම යොදාගෙන ඒ ස්ථානයෙන් ගැලවුණත් ඔවුන් ආයෙත් ඇතුළු වෙන්නේ ඒ ජාතියේම ස්ථානයකට. මෙය සාමාන්‍ය Escape room ක්‍රීඩාවක් නොවන බව ඔවුන්ට එතැනදී අවබෝධ වෙනවා . ජීවිතයත් මරණයත් අතර ක්‍රීඩාවකට තමන් මැදිව සිටින බව ඔවුන්ට තේරුම් යනවා. එතැන් පටන් ඔවුන්ට සිද්ධ වෙනවා ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සටන් කරන්න. මේ හය දෙනාම තෝරාගත් පිරිසක්. ඔවුන් තෝරා ගැනීමට හේතු වෙන්නෙත් ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම්. හය දෙනාගෙන් කී දෙනක් ජීවිතය බේරා ගනීවිද? ක්‍රීඩාවේ අවසානය කොතැනද? මේ ගැටලුවලට පිළිතුරු දැනගැනීමට නම් ඔබ සිනමාපටය නැරඹිය යුතුය.
මෙම නිර්මාණය ඇඩම් රොබිටෙල්ගේ අධ්‍යක්ෂණයක්. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිනමාපටවලට වඩා මෙය සාර්ථක ත්‍රාසජනක නිර්මාණයක්. මෙහි තිර පිටපතේ ගෞරවය බ්‍රේගී එෆ්, ස්කට්ට හිමිවිය යුතුයි. සිනමාපටය බැලූ බැල්මට ජනප්‍රිය Escape room ක්‍රීඩාව වටා නිර්මාණය කර තිබුණත් සිනමාපටය නරඹද්දී එම තිර පිටපතේ යටි අරුතක් ගැබ්ව තිබෙන බව ප්‍රේක්ෂකයන්ට වැටහෙන්නට ගන්නවා.. මුදල කියන සාධකය පස්සේ දුවන්න ගිහින් අනතුරේ වැටෙන්නට සිදුවීමම උගුලක්. සල්ලි කොළ වෙනුවෙන් අනතුරේ වැටෙන මිනිස්සු අනිත් මිනිහගේ බෙල්ල කපලා හරි තමන්ගේ ගැලවීම හොයාගන්නවා. එවන් අවස්ථාවලදී මිනිසුන්ගේ සැබෑ චරිත ලක්ෂණ මතුවී පේන්න පටන් ගන්නවා Escape room යනු එවැනි යටි අරුතක්ද ඇතිව නිමවූ සිනමාපටයක්.
Escape Room Movie Exclusive from Starfriends.lk