Daily News
Trending

ජනප්‍රිය තරු නත්තලට රෙඩි.

Celebrities' Christmas




Celebrities’ Christmas Exclusive from Starfiends.lk

ටීනා ශනෙල්

දෙසැම්බර් මාසෙට පොඩි කාලේ ඉඳලාම ආසයි. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් නත්තල. අනිත් එක මගේ උපන්දිනය යෙදිලා තියෙන්නෙත් නත්තල් මාසෙමයි. ගෙදර ගෑනු ළමයි තුන්දෙනෙක් ඉන්න නිසා නත්තල් කාලෙට හරිම කාර්යබහුලයි. අම්මා කේක් හදනවා අපි නත්තල් ගහ සරසනවා. නත්තල දවසට වැඩිපුරම තෑගි ලැබෙන්නේ මට. ඇයි උපන්දින තෑගිත් ලැබෙනවානේ. නත්තල් කාලෙට මම හරිම ආසයි තැඹිලි වයින් බොන්න. නත්තලට මුළු පවුලම එකට එකතුවෙන නිසා අපි හරි ආසාවෙන් ඒ දිනය උදාවෙනකල් බලාගෙන ඉන්නවා.

රයිනි චාරුකා

පොඩි කාලේ නත්තල තරමට දැන් නත්තල දැනෙන්නේ නැත්තේ අපි ලොකුවෙලා නිසාද කියලා මං දන්නේ නැහැ. ඒත් පුංචි කාලේ නම් නත්තල කියන්නේ හරිම සතුටුදායක දවසක්. පොඩි කාලේ අංකල් කෙනෙක් අපිට ඇත්තම නත්තල් ගහක් ගෙනැල්ලා දෙනවා. ඒ කාලේ අපිට තෑගි අරගෙන දෙන්න අම්මලාට සල්ලි තිබුණේ නැහැ. ඉතිං ගෙදර තියෙන එකක්ම ඔතලා දෙනවා. එක නත්තලක අම්මාගේ නම ලියලා ඔතපු සබන් කෑල්ලක් නත්තල් ගහ යටින් තියලා තිබුණා. අනේ උදේ බලද්දි ඒක බල්ලා කාලා. සමහර අවුරුදුවල අපේ තාත්තා පල්ලියේ කැරොල් කණ්ඩායම පුරුදු කළා. නත්තල් දවසට පල්ලි අඳින ඇඳුම හරිම විශේෂයි. ලස්සනම එකක් ඇඳගෙන යනවානේ. නත්තල එක්ක ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මගේ ආච්චිව. ආච්චි නැතිව ගෙවෙන පළමු නත්තල තමයි මේ උදාවෙන්නේ.

මාධවී වත්සලා

අම්මයි අප්පච්චියි මල්ලිලා දෙන්නයි එකතුවෙලා තමයි නත්තල් ගහ හදන්නේ. ඊට පස්සේ තුන්දෙනාම එකතුවෙලා තෑගි බෙදාගන්නවා. දැනුත් අපි ලොකු වුණාට ඒ නත්තල් සුවඳ දැනෙනවා. නත්තල කියන්නේ පවුලේ හැමෝම එකට එකතුවෙන දවසට. හැම නත්තලකම මට එක එක තෑගි ලැබිලා තියෙනවා. අන්තිම නත්තලට මට ලැබුණේ අත් පළඳනාවක්. ඒ තෑග්ග මට කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. මොකද මට ඒ අත් පළඳනාව තෑගි දුන්නේ මිලාන්. ඒ ඔහු මට විවාහ යෝජනාව අරගෙන ආපු කාලේ.

දුෂ්මන්ත් වීරමන්

මට පොඩි කාලේ නත්තලට ලැබෙන්නේ සෙල්ලම් කරන්න පුළුවන් තෑගි. ඒ කියන්නේ බැට්, ‌බෝල් වගේ ඒවා. පොඩිකාලේ ඉතිං හැම ගෙදරකම වගේ අපේ ගෙදරත් නත්තල් ගහක් හදනවා. මම නම් ඒ කාලේ නත්තලට කැමැති තෑගි ලැබෙන නිසා. අනෙක් අතට නත්තල් දවසට හොඳට කාලා බීලා ප්‍රීති වෙනවා. කොහොම වුණත් මේ නත්තල මට සුවිශේෂියි. ස්ටෙෆනි ඒක්ක විවාහ වෙලා ඉස්සෙල්ලාම සමරන නත්තල තමයි මේ උදා වෙන්නේ. ඒ නිසා කලින් ඉඳලාම අපි ඒ වෙනුවෙන් සූදානම් වුණා.

රොෂාන් ප්‍රනාන්දු

මුළු රටටම නත්තල් තිබුණත් පොඩි කාලේ අපිට නත්තල් තිබුණේ නැහැ. මම බොහොම දුප්පත් පවුලක කෙනෙක්. නත්තල සමරන්න අපේ දෙමව්පියන්ට සල්ලි තිබුණේ නැහැ. ඒ නිසා අනෙක් ගෙවල්වල නත්තල් ගස් දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්න අපි පුරුදු වුණා. ඒත් අද අපේ දරුවන් නත්තල සතුටින් සමරනවා. හැම අවුරුද්දේම දෙසැම්බර් 1වැනිදා අපි නත්තල් ගස හදනවා. අපි අපේ දරුවන්ට කියා දෙනවා නත්තල කියන්නේ මතුපිටින් දකින ලස්සන විතරක් නෙමෙයි සාමයේ පණිවුඩය අරගෙන යනඑක තමයි නියම නත්තල කියලා. ලංකා වාසී හැමෝටම සුබ නත්තලක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

උමාරියා

පුංචි කාලේ අම්මා කියනවා අපි කැමැති තෑග්ග මොකක්ද කියලා සඳහන් කරලා නත්තල් සීයාට ලියුමක් ලියන්න කියලා. ඉතිං මමයි අක්කයි අපි කැමැති තෑගි ගැන කියලා නත්තල් සීයාට ලියුම් ලියනවා. නත්තල් දවසේ උදේ නැගිටිනකොට ඒ තෑගි අපිට ලැබෙනවා. අපි ඉල්ලන්නේ හරි පුංචි පුංචි දේවල්. ඒත් ඒ දේවල් ලැබුණාම අපිට හරි සතුටුයි. මෑතක් වෙනකල්ම මමයි අක්කායි නත්තල් සීයාට ලියුම් ලිව්වා. අදත් නත්තල එනකල් අපි මග බලාගෙන ඉන්නවා. එදාට අපි හැමෝම එකට එකතු වෙනවානේ.

අමන්දා සිල්වා

උදාවෙන්නේ මගේ ජීවිතයේ වැදගත්ම සහ අමතක නොවනම නත්තල කිව්වොත් නිවැරදියි. විවාහයෙන් පස්සසේ මමයි මගේ සැමියායි එකතුවෙලා සමරන නත්තල තමයි මේ. ඒ නිසාම පහුගිය දවස්වල රට රටවල සංචාරය කරලා නත්තල සමරන්නම ලංකාවට ආවා. මගේ යාළුවොත් ලංකාවට ඇවිත් ඉන්නවා. යාළුවොත් එක්ක එකතුවෙලා නත්ල සමරන්න පාටි ගොඩකට දැනටමත් ආරාධනා ලැබිලා තියෙනවා. පළමුවැනි නත්තල අපි දෙන්නා විතරක් නැතිව යාළුවොත් එක්ක සමරන්න තමයි අපි දෙන්නා අදහස් කරගෙන ඉන්නේ. නත්තලට අපි පල්ලි යනවා. හැබැයි නත්තල් ගස් නම් හදන්නේ නැහැ. අපේම ගෙදරකට ගියාට පස්සේ පළවෙනි නත්තල් ගහ හදනවා.

ශනුද්‍රි ප්‍රියසාද්

හැම නත්තලක් වගේම මේ නත්තලත් මට සුවිශේෂීයි. මේ අවුරුද්දේ මගේ අධ්‍යාපන කටයුතුත් නිමා වෙනවා. අලුත් අවුරුද්දේ මගේ ගීත දෙකතුනක් එළිදක්වන්නත් තියෙනවා. ඉතිං ඒ හැම බලාපොරොත්තුවක් එක්කම තමයි මේ නත්තල උදාවෙන්නේ. ඉතිං මගේ යාළුවෝ හැමොටම සුබ නත්තලක් වේවා කියලා වගේම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලාත් මම ප්‍රාර්ථනා කරනවා.

නලින් පෙරේරා

මේ නත්තල මට නම් හරිම ආදරණීයයි. මගේ බිරිය, දුව සහ පුතා එක්ක හරිම ආදරයෙන් නත්තල සමරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව වසර අවසානයේ පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයකුත් තියෙනවා. ඒ වැඩත් එක්ක තරමක් කාර්යබහුලයි. අදරණීය නත්ලක් උදාවේවා කියලා වගේමේ 2019 අලුත් අවුරුද්ද සුබම සුබ එකක් වේවා කියලත් මම හැමෝටම සුබපතනවා.

Celebrities’ Christmas Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close