Daily News
Trending

කොල්ලෙක්ගේ හීනවලට පියාපත් දුන්න ගායකයා.-රොෂාන් ප්‍රනාන්දු

Roshan Fernando




Roshan Fernando Exclusive from Starfiends.lk

වර්තමානයේ අතිෂය සාර්ථක සංගීත කණ්ඩායම් අතලොස්සෙන් එකක් වන ෆ්ලෑෂ් බෑක් මේ දක්වා පැමිණියේ දුෂ්කර මාර්ගයක. එහි මුල් සමාජිකයන් ලෙස අදත් ෆ්ලෑෂ් බෑක් සමඟ රැඳී ඉන්නේ රොෂාන් ප්‍රනාන්දු සහ කිංස්ලි පීරිස් පමණයි. ඉතිං ෆ්ලෑෂ් බෑක් හි නායකයා වන රොෂාන් ප්‍රනාන්දු ඔහුගේ සංගීත දිවියේ යටගියාව සිහිපත් කරනවා. ඒ මුල අමතක නොකරන බවට වටිනා ආදර්ශයක් ද ලබා දෙමින්.

උදා වූ මේ නත්තලේ කාගේ හරි හීනයකට අත්තටු දෙන්න පුළුවන් නම් නියම සැන්ටා කෙනෙක් වෙන්න ඔයාලටත් පුළුවන්. රොෂාන් දෙසැම්බරය ආරම්භ වෙද්දීම ඒ අපූරු නත්තල් තෑග්ග අරගෙන හම්බන්තොට ළහිරු හොයාගෙන යනවා.

කවදා හරි දවසක දක්ෂ ඩ්‍රම්ස් වාදකයෙක් වන හීනයෙන් උදේ රෑ එක්ස් රේ කොලයකට තඩිබාන ළහිරු සම්පත් ගැන ගොඩක් අය දැනගත්තේ යූටියුබ් එකෙන්. මේ යූ ටියුබ් වීඩියෝව කෙසේ හෝ කීප දෙනෙකුගේ මාර්ගයෙන් ෆ්ලෑෂ්බෑක් නායක රොෂාන් ප්‍රනාන්දුගේ මැසෙන්ජර් එකටත් ලැබෙනවා. ඔහුට මේ වීඩියෝව එවපු බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව වුණේ ළහිරුට යම් සාධාරණයක් ඉටුකරවා ගැනීම. තරුණයෙක්ගේ අහිංසක හීනයක් මුදුන්පමුණවා ගන්න අත දෙනවා කියන්නේ කොයිතරම් වටිනා කාර්‍යයක් ද. හැකියා පූර්ණ ළහිරුට අවසානයේ ඒ සත් ගුණවත් මිනිසා මුණ ගැහෙනවා. ඔහු තමයි සුවහසක් රසික ආදරය දිනූ රොෂාන් ප්‍රනාන්දු.

අවසානයේ කොළඹට එන ළහිරුට රොෂාන්ගේ වියදමෙන් ඩ්‍රම්ස් සෙට් එකක් තිළිණ වෙනවා. එදා ළහිරු ඒ ඩ්‍රම්ස් සෙට් එක රොෂන්න්ගේ නිවසේ දීම වාදනය කරනවා. රොෂාන් ළහිරුගේ අඩුපාඩු හදලා ඔහුට ගුරුවරයකු පවා හඳුන්වා දෙනවා. අත්පත් කරගන්න බැරි තරමට හුඟක් ඈත තිබුණ ළහිරුගේ හීනය ඇස් දෙක ඉස්සරහට ගෙනත් දුන්න රොෂාන් ඔහුගේ යටගියාව සිහිපත් කළේ මේ ආකාරයට.

රොෂාන්ට ඔහුගේ දුප්පත් ගැටවර විය සිහිපත් කරන්නේ ළහිරු. මේ කියන්නේ රොෂාන්ගේ අවුරුදු දාහතරෙදි පහළොවේදි විතර ගෙවුණ ජිවිතය ගැන. ඒ කාලේ රොෂාන්ලා හරි දුප්පත්. රොෂාන්ගේ තාත්තා වැඩ කළේ රෙකෝඩ් බාර් එකක. ඒ ලැබෙන සොච්චම රොෂන්ලා යාන්තම් පිරිමහගෙන තමයි කාලා ඇඳලා හිටියේ.

ඒ කාලේ රොෂාන්ටත් ඩ්‍රම්ස් ප්ලේ කරන්න හීනයක් තිබුණා. ඔහුත් තේ පෙට්ටියක්, එක්ස් රේ කොළ, බයිසිකල් කොක් රීල් එකක් වගේ අඩුවැඩිය වලින් ඩ්‍රම් සෙට් එකක් නිර්මාණය කරගන්නවා. ඉතිං රොෂාන් අවුරුදු 19ක් වෙනකල් ප්ලේ කළේ මේ ඩ්‍රම් සෙට් එක.

දවසක් රොෂාන් ඇඳේ නිදාගෙන ඉන්නකොට තාත්තා පිටට තට්ටු කරලා ඩ්‍රම් ස්ටික් දෙකක් දුන්නාලු. එදා තමයි රොෂාන් එක දිගට මුළු දවසක්ම අලුත්ම ඩ්‍රම් සෙට් එකක් ප්ලේ කරන්නේ. එදා රොෂාන්ට මේ ඩ්‍රම් සෙට් එක අරගෙන දෙන්න රොෂාන්ගේ තාත්තා සියයට දහයේ පොළියට ණයක් ගන්නවා.

රොෂාන් ප්‍රනාන්දු කියන සංගීත ශිල්පියාගේ ආරම්භය සිදුවන්නේ ඒ ආකාරයට. ඔහු පිටුපස වගේම ෆ්ලෑෂ්බෑක් පිටුපස සිටි යෝධ සෙවනැල්ල වුණෙත් ඔහුගේ තාත්තා.

ළහිරු තමන්ම නිර්මාණය කරගත්ත ඩ්‍රම්ස් සෙට් එකකින් වාදනය කරනවා දැක්කාම රොෂාන්ට සිහිපත් වුණේ ඔහුගේ ඒ යටගියාව.

අලුත්ම ඩ්‍රම්ස් සෙට් එක ලැබුණ ළහිරු කිව්වේ රොෂාන් කියන්නේ එයාට දෙවිකෙනෙක් වගේ කෙනෙක් කියලයි. නුදුරු දිනෙක ළහිරු ඩ්‍රම්ස් වාදකයෙක් විදියට නමක් දිනාගනීවි. ඒ ගමනට අපිත් ඔහුට සුබපතනවා.

Roshan Fernando Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close