Daily News
Trending

ඉන්දීය බිලියනපති දියණියගේ විවාහයට චන්දන වික‍්‍රමසිංහගෙන් නැටුම් කණ්ඩායමක්.

Ambani Family Wedding




Isha Ambani wedding choreography By Chandana Wickramasinghe Exclusive from Starfiends.lk

බොලිවුඩ් වලට මංඟල සීනු හැඬවිලා තියෙන වෙලාවක ඔන්න තවත්ම ජය මංඟල්ලයක් නිමා වුණා. ඒක නම් එසේ මෙසේ මංඟල්ලයක් නෙමෙයි මහා මංඟල්ලයක්. ප‍්‍රියංකාලා (Priyanka), අනුශ්කාලා (Anushka), දීපිකාලා (Deepika) ගත්ත මංඟල උත්සව මොනවාද කියලා හිතෙන්නේ මේ මංඟල්ලේ ගැන විස්තර ඇහුවාමයි.

Isha Ambani

ඉන්දියාවේ මුකේශ් අම්බානි (Mukesh Ambani) කියන්නේ ලොව ධනවතුන් අතර මුල් පස්දෙනා අතර රැදෙන්න සමත් වූ ධන කුවේරයෙක්. අම්බානිගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 41කටත් වඩා වැඩියි. අම්බානිගේ බිරිය නීටා අම්බානි (Nita Ambani) ලොව ධනවත්ම ගැහැනුන් අතරටත් ගියා. මේ තමයි බොලිවුඩ්වල සිටින ධනවත්ම මිනිසා. අයිපීඑල් කණ්ඩායම් හිමිකරුවන් අතර මුකේශ් තමයි ඉදිරියෙන්ම සිටින්නේ. ඔහුගේ අයිපීඑල් වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 21.2ක්.

ඉතින් දැන් ඔයාලට හිතාගන්න පුළුවන්නේද මේ ධන කුවේරයාගේ දුවගේ විවාහ මංඟල්‍ය මොන වගේ එකක් වේවිද කියලා? ඊෂා අම්බානි (Isha Ambani) කියන්නේ මුකේශ්ගේ දුව. ඇයගේ අත ගන්නෙත් බිලියනපතියෙක්ගේ පුතෙක්. ඔහු තමයි තිස්තුන් හැවිරිදි ආනන්ද් පිර්මාල් (Anand Piramal). මේ දෙන්නාගේ විවාහය තමයි මෑත ඉතිහාසයේ ඉන්දියාවේ පැවැත්වුණ සුවිසල්ම විවාහ මංඟලෝත්සවය.

Isha Ambani & Anand Piramal

දන්නවාද? ඊෂාගේ වෙඩින් කාඩ් එකම විතරක් ඉන්දීය රුපියල් ලක්ෂ එකහමාරක් විතර වුණාලු. ඒක හදලා තියෙන්නේ රත‍්‍රං වලින් කියලත් කියනවා. ලොව පුරා සිටින සුපිරි නළු නිළියන්, සුපිරි ක‍්‍රීඩකයන්, සුපිරි දේශපාලනඥයන්, සුපිරි ව්‍යාපාරිකයන්, සුපිරි කලාකරුවන් 300කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ මේ විවාහ මංගල්‍යය පැවැත්වුණේ උදායිපූර් නගරයේදී.

මෑතකදීම පැවැත්වුණ ප‍්‍රියංකා චොප්රාගේ විවාහ මංඟල්‍යයේ මනාලියගේ යෙහෙළියක ලෙසත් ඊෂා සහභාගී වී සිටියා. ඉතින් මේ විවාහ මංගල්‍යය අමිතාබ් භච්චන් (Amitabh Bachchan), රේඛාගේ (Rekha) සිට වර්තමානය දක්වා සුපිරි බොලිවුඩ් නළු නිළියන්ගෙන් පිරී තිබුණා. සචින් තෙන්ඩුල්කාර් (Sachin Tendulkar), යුවරාජ් සිං (Yuvraj Singh) ආදී සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් පිරී තිබුණා. හිලරි ක්ලින්ටන් (Hillary Clinton) වැනි සුපිරි දේශපාලන චරිතවලින් පිරී තිබුණා. බියොන්සේ (Beyoncé) වැනි ලොව අතිශය ජනප‍්‍රිය ගායක ගායිකාවන්ගෙන් පිරී තිබුණා. සුපිරි පොප් ගායිකා බියොන්සේ මෙදින ගීත ගායනය සඳහා ද එක් වෙනවා. ඒ සදහා මුකේශ් බියොන්සේට ඉහළ මිලක් ගෙවා ඇති බව ද සඳහන්.

කොහොමින් කොහොම හරි අසල්වැසි ඉන්දියාවේ මේ වගේ සුපිරි විවාහ මංඟල්ලයක් පැවැත් වෙද්දී ලංකාවේ ප‍්‍රවීණ නර්තන අධ්‍යක්ෂවරයෙකුටත් ඒ සඳහා ආරාධනා ලැබෙනවා. ඒ නිකම්ම නෙමෙයි. මේ දැවැන්ත විවාහ මංඟල්‍යයේ නැටුම් අධ්‍යක්ෂණ කටයුත්තක් අපේ රටේ චන්දන වික‍්‍රමසිංහ මහත්මයාටත් (Chandana Wickramasinghe ) පැවරෙනවා. ඒක අපිට ආඩම්බර වෙන්න පුළුවන් පුවතක්. ලෝකය පුරා සිටින සුපිරිම පුද්ගලයන්ව සම්බන්ධ කරගත්ත උත්සවයක ශ‍්‍රී ලංකාවේ සුපිරි නර්තනාචාර්යවරයකුත් සිටිනවා. ඔහුගේ නර්තන කණ්ඩායම් ඊෂා අම්බානිගේ විවාහ උත්සවයට ආලෝකයක් ගේනවා.

මේ විවාහ මංඟල්‍යයට අමුත්තන් වැඩි දෙනෙක් ඇවිත් තිබුණේ පෞද්ගලික ගුවන් යානා මගින්. හිතාගන්න පුළුවන්ද මේ තරම් විශාල වියදමක් දැරූ විවාහ මංඟල්‍යයක් සජීවීව කොයි වගේ වෙන්න ඇති ද කියලා? ඇත්තමයි සල්ලිවලට තියෙන බලය දේශපාලනඥයෙක් ළඟවත් නැහැ. මුකේශ් එක්ක එකතුවෙලා සිටින පිරිස දැක්කාම ඔප්පු වෙන්නේ අන්න ඒ යථාර්ථය. සල්ලිවලට මිලදී ගත නොහැකි දෙයක් නැති බව ඔප්පු කරපු විවාහ මංඟල උත්සවයක් කියලා අන්තිමේ අපිට මේ ගැන කියන්න පුළුවන්.

අවසන් වශයෙන් අම්බානි පවුලේ අලුත් මනාලිය ඊෂාට අපිත් සුභාශිංසන එකතු කරනවා.

Isha Ambani wedding choreography By Chandana Wickramasinghe Exclusive from Starfiends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close