Daily News
ඉන්දික ගිනිගේ ගැන සහෝදර ශිල්පී ධනංජය සිරිවර්ධන දාපු ඇහැට කඳුළු උනන ෆේස්බුක් සටහන..

කඩවසම් රංඟන ශිල්පියෙක් වගේම දක්ෂ ගායකයකු ලෙසද ජනප්‍රියත්වයක් දිනා සිටි ඉන්දික ගිනිගේ සහෘදයා වගේම ප්‍රවීන නාට්‍යවේදී තිස්ස ගුණවර්ධනයන්ගේද අභාවය එක විට අසන්න ලැබුණා. මේ සම්බන්ධයෙන් ජනප්‍රිය රංඟන ශිල්පී ධනංජය සිරිවර්ධන තමන්ගේ ෆේස්බුක් පිටුවට සංවේදී සටහනක් එක්කර තිබුණා. පහතින් දැක්වෙන්නේ ඒ සටහන.
… ගිනි කන්දක් හා සමනල කන්දක් …
මේ දෙදෙනාගේම පින්තූර දැම්මේ මේ දෙන්නාව සමකිරීමට හිතන් නෙවෙයි. එහෙම කරන්න බෑ සහ ඕනෙත් නෑ. වම්පැත්තේ ඉන්න ගුරුවරයා මට උගන්නල නෑ. ඒත් එතුමාගෙන් මං ඉගෙනගෙන තියෙනව. එතුමාගේ ගෝලයෝ මගේ හොඳ යාලුවෝ. ඒ වගේම හොඳ නලුවෝ. ලංකාවේ කලාවට දායක වූනු විශිෂ්ඨ නලු පරම්පරා ගානක් එතුමා නිර්මාණය කරා. එතුමා කරපු ‘සමනල කන්ද’ නාට්‍යයේ විදියට අපි තාමත් කරත්තේ. ගොන්නු බඳින කරත්තේ. තිස්ස සර් ඇත්තටම සමනල කන්දක්. දකුණු පැත්තේ ඉන්න ගින්නා ගැන මට දුකයි. මාත් සමඟ ක්ෂේත්රයට අඩිය තියපු ගින්නා අතින් එක වරදක් උනා. එහෙම නොවෙන්න ඌ අදටත් මගේ හොඳම යාලුවා වෙන්න තිබ්බා. ඒ විතරක් නෙවෙයි ගින්නා ලංකාවේ අංක එකේ ප්‍රේමවන්ත නලුවා වෙන්න තිබ්බා. ඒ තරමට ඌ හැන්ඩියා. ඒ විතරක් නෙවෙයි ආදරණීය පෙනුමක් හා හදවතක් ඌට තිබ්බා. අද ගින්නාව දන්න අය අඩුයි. මොකද ඌට ඌ ආව වැඩේ අමතක උන හින්දා ක්ෂේත්රයේ රැඳෙන්න බැරි උනා. දැං ඌ වෙනුවෙන් post දාන කවුරුත් (කලින් කියපු හේතුව නිසා.. මාත් ඇතුව..) ඌ ගැන බැලුවෙ නෑ. අන්තිම කාලේ මොනවද කලේ කියලවත් දන්නෙ නෑ. ඒත් මං දැන්ං හිටිය ගින්නා හොඳින් නෑ කියලා. හොඳ නලුවෙක්, හොඳ ගායකයෙක්, හොඳ ආදරවන්තයෙක්, හොඳ යාලුවෙක් වෙන්න තිබ්බ ගින්දර හදවතක් තිබ්බ ගින්නා, ඒ ගින්නෙන්ම දැවී නිවී ගියා.වෙනස් දුරස් මිනිසුන් දෙදෙනෙක් උනත් දැං මේ දෙන්නම අතීතයට එකතුවෙලා ඉවරයි. ජීවිතය කියන්නෙ මොන තරම් සියුම් කාලයක්ද.ගින්නාගේ හොඳ යාලුවෙක් වෙන්න මට බැරි උනා. තිස්ස සර්ගේ ගෝලයෙක් වෙන්නත් මට බැරි උනා. ඒත් සසර තවම ඉවර නෑ. මරණයෙන් සියල්ල අවසන් වන්නේ නෑ. අපි ආයේ හමුවෙනවා. ගින්නා… එදාට උබ මගේ හොඳ යාලුවෙක් වෙයන්. අපි දෙන්නම ගිහින් තිස්ස සර්ගේ හොඳ ගෝලයෙක් වෙමු. ඉගෙන ගමු තිස්ස සර්ගෙන් ජීවිතය යන රඟමඬළ ගැන. අපි ඔක්කොම නලුවෝ! -ධනංජය සිරිවර්ධන- (ඉවසන Dhana )