
ඉන්දියානු ඉතිහාසයේ විරෝදාර රණකාමී කාන්තා චරිතක් ලෙස සැලකෙන ජාන්සි රැජිණගේ ජීවිත කතාව අලලා නිර්මාණය වූ මනිකර්ණිකා නමැති සිනමා වෘතාන්තයට ජනප්‍රිය බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් සහභාගීවෙනවා. ඇය එහි ජාන්සි රැජිණගේ අතිශය සංකීර්ණ චරිතය නිරූපණය කරන බව දැනටමත් ලොව පුරා කතාබහට ලක්වී තිබෙනවා. රාධා ක්රිෂ්ණ අධ්‍යක්ෂණය කරන මේ දැවැන්ත සිනමා නිර්මාණයේ තිර පිටපත විජයෙන්ද්ර ප්‍රසාද්ගේ.
ලෝක ඉතිහාසයේ විශිෂ්ට රණ විරුවන් ගැන කතා කළත් රණශූරියන් ගැන කතාවන්නේ අඩුවෙන්. නමුත් ඉන්දීය යුද ඉතිහාසයේ ලක්ෂ්මී බායි රැජිණට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. උත්තර ප්‍රදේශයේ ජාන්සිහී රැජිණ වූ ඇය තමයි 1857 දී බ්‍රිතාන්‍යයට එරෙහිව මෙහෙය වූ පළමු නිදහස් කැරැල්ලේ නායිකාව. ලක්ෂ්මී බායිගේ එඩිතරකම හා ධෛර්ය අදත් මුළු මහත් කාන්තාවන්ට ආදර්ශයක්. වයස අවුරුදු 14 දී ජාන්සිහී මහ රජා වූ රාජාගන්ධාර් රාඕ සමඟ විවාහ වූ ඇය එතැන් පටන් හැඳින්වුණේ රාණී ලක්ෂ්මී බායි කියලා. එකම දරුවාත් ස්වාමි පුරුෂයාත් මිය යාම සහ හදාවඩා ගන්න ගත් දරුවාට රාජ්‍යත්වය නොමැති බවට අදහස් පළවීමත් නිසා ජාන්සි බලකොටුව හැරයන්නට ලෂ්මී රැජිණට සිදු වුවත් ඇය ඊට යටත් වුණේ නැහැ. ඉංග්‍රීසි ප්‍රහාරයක් බලාපොරොත්තුවෙන් සියලු රැකවල් තර කළ ජාන්සි නොහොත් ලක්ෂ්මී රැජිණ මිය ගියේ අවුරුදු 22ක් තරම් තරුණ වියේදී. යුද සේනාපතියකු ලෙසින් අසු පිට නැඟී සටන් වැදුණු ඇය මිය යන්නේ ග්වාලියර් කොටුව රැක ගැනීමේ සටනේදී.
ලක්ෂ්මී රැජිණට සිංහ ආත්මයක් තිබුණ බවටත් ඉන්දියාව පුරා රාවයක් පැතිර තිබුණා. ඒ නිසා ඇයව ඉන්දියානුවන් සළකන්නේ යුද දෙවඟනක් හැටියට.
කන්ගනා රනවුත් කිසිඳු චකිතයකින් තොරව භාරගන්නේ මෙන්න මේ කියන වීරෝදාර රණ කාමී කාන්තාවගේ චරිතය. මනිකර්ණිකා සිනමා වෘතාන්තයේ පූර්ව ප්රචාරක පටය මේ වන විට එළි දක්වලා තියෙනවා. එහි දැක්වෙන පරිදි නම් මෙම සිනමා කෘතිය ඉතා ඉහළ ප්‍රමිතියකින් නිෂ්පාදනය කර තිබෙනවා.