Daily News
Trending

අමරණීය ගී හඬ – ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ 75 වන ජන්ම දිනය අදයි!




හරියටම අද වගේ දවසක බදුල්ල දිස්ත්රික්කයට අයත් රමණීය හපුතලේ පුරවරයේදී ඒ අපූරු උත්පත්තිය සිදුවෙනවා. ආතර් ජෝජ් පෙරේරා විජේවර්ධන සහ සෝමා කුමාරි ඒකනායක යන යුවල මව්පියන් බවට පත් කරමින් ඉපදුන මේ දරුවා විජේවර්ධන කුටුම්බයට ඉස් ඉස්සෙල්ලාම ආපු කොල්ලා. දෙමාපියන් ඒ කුළුඳුල් දරු උපතට ක්ලැරන්ස් විජේවර්ධන කියලා නම් තබනවා. පාසල් කාලයේ පටන්ම ක්ලැරන්ස් බටහිර සංගීතයට ඇලෙනවා. ගිටාරය ඔහුගෙ ඇඟිලිවලට හුරු වෙන්නෙ පාසල් වයසේදීමයි. ගීත රචනය, ගායනය වගේම තනු නිර්මාණකරණය යන ත්‍රිවිද කුසලතාවම මේ තරුණයාට මුල සිටම පිහිටා තිබුණා. ක්ලැරන්ස්ට යාන්තම් අවුරුදු 22 වෙද්දි ඔහු මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමට නායකත්වය දෙනවා. ඊටත් පස්සෙ ඔහු සැටර්ඩේ ස්ටාර් කියන ගුවන්විදුලි වැඩසටහන ඔස්සේ සුවහසක් අසන්නන්ගේ ප්‍රසාදය දිනාගන්නවා. මූන්ස්ටෝන් සංගීත කණ්ඩායම නිකුත් කළ පළමු කැසට්පටයට ගීත ගායනයෙන්, සංගීත නිර්මාණයෙන් වගේම ගී පද රචනයෙන්ද ක්ලැරන්ස් සම්බන්ධ වෙනවා. ශ්‍රී සඟබෝ කොරයා මහතාගේ දියණියට රමණී, සහ දිල්හානී කියන ගීත නිර්මාණය කරන ක්ලැරන්ස් කරුණාරත්න අබේසකරයන්ගේ පුතුට දිලීප පොඩිපුතු ගීතය නිර්මාණය කරනවා. මිල්ටන් මල්ලවාඅරච්චිට, ත්රී සිස්ටර්ස් සංගීත කණ්ඩායමට, නීලා වික්රමසිංහට ආදී සමකාලීන සහෝදර ගායක ගායිකාවන්ට ක්ලැරන්ස් අතින් ගීත නිර්මාණය වෙනවා. මූන්ස් ටෝන් සංගීත කණ්ඩායමෙන් පස්සෙ ක්ලැරන්ස්ගෙ නවාතැන බවට පත්වන්නෙ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායම. ඊටත් පස්සෙ ඔහු නවතින්නෙ සුපර් ගෝල්ඩන් චයිම්ස් කණ්ඩායම ළඟ. ගමෙන් ලියුමක් ඇවිත්, උඩරට නිළිය, වන බඹරෝ වගේ ගීත නිර්මාණය වන්නෙ එතැනදි. ඊට පස්සෙ ක්ලැරන්ස්ගෙ ගමන ස්වාධින එකක් බවට පත්වෙනවා.ඔහු ගිටාර් වාදනයේ විවිද ස්ටයිල් ලංකාවේ සංගීත ක්ෂේත්රයට හඳුන්වා දෙනවා. ඔහුගේ ගිටාර විලාසිතාව ඔහුටම අනන්යවූවක්. චිත්‍රපට සංගීතයට ක්ලැරන්ස්ගෙන් ලැබුණ දායකත්වය සුවිශේෂී එකක්. 70,80,90 දශකයන්හිදී සුවිශාල ජනතා ආකර්ශනයක් දිනාගත් මේ අපූරු කලාකරුවා 1996 දෙසැම්බර් 13 වැනි දින දැයෙන් සමුගන්නවා. ක්ලැරන්ස්ට දැන් අවුරුදු 75ක්. දෙදහසකට ආසන්න නිර්මාණ ඔහුව සදාකල් ජීවත් කරවනවා. ඉතිං ක්ලැරන්ස් දැන් වෙනදටත් වඩා තරුණයි. ඒ ඔහු අපේ රටේ සංගීතයේ වෙනම පරිච්ඡේදයක හිමිකරුවා නිසා පමණක් නෙමෙයි නවක ගායක ගායිකාවන්ට අදත් ඔහු මගහැර යා නොහැකි නිසයි. වියෝ වුණත් සුබ උපන්දිනයක් කියලා ක්ලැරන්ස් විජේවර්ධන සහෘද හිතවතාට සුබ පතන්න අපිට තවමත් හිතෙන්නෙ ඒකයි.

Tags
Show More
Close