
‘කලන’ කියලා කියනවට වඩා ඔහුව හුඟ දෙනෙක් අඳුරන්නෙ ප්‍රියන්තයා කිව්වාම. ඒ කූඹියෝ නාට්‍යය නිසා. කලන රංඟනයට පා තබන්නෙ කූඹියෝ නාට්‍යයටත් කලින්. ගිනි අවි සහ ගිනිකෙලි නාට්‍යයත් කලනව විශාල රසික පිරිසක් අතරට ගෙනයනවා. කලන කූඹියෝ වටා කොටු වීම අපරාධයක්. මොකද ඔහු වේදිකාවේ පුංචි තිරයේ සහ සිනමාවේ ඉතාම දක්ෂ රංඟන ශිල්පියෙක්.
කලන මේ ළඟදි මූසිල කියලා කවි පොතකුත් ලියනවා. ඔහුව මේ විදියට විවිධ දක්ෂතා සමඟ හදුනා ගනිමින් සිටියදී තමයි ඔහු මේ වගේ කතාවක් කියන්නේ.
ඉතාම දක්ෂයෙක් වුණ කලන නිහතමානීව ප්‍රකාශ කරන්නේ ඔහු පරිපූර්ණ නැති බව. කිසිම නළුවෙක්ට එහෙම පරිපූර්ණ වෙන්න බැහැ. ඒක ඇත්ත. ඒත් කලන තමන් සම්බන්ධයෙන් එහෙම නිගමනයකට ආවේ ඇයි?
කලන කලාවට ඇබ්බැහිවුණ කෙනෙක්. ඔහුට කලාව තුළ කන කට්ට සුන්දරයි. නමුත් තවමත් කලන කියන විදියට ඔහුට නළුවෙක් හැටියට ඕනෑම දෙයක් කරන්න බැහැ. කිසියම් සීමාවක් ඇතුලේ පමණයි යමක් කළ හැකි වන්නේ. ඒ නිසා ඔහු තමන්ව පරිපූර්ණ නළුවකු ලෙස හඳුන්වා දෙන්නෙ නැහැ.
කලන කියන්නේ ඉක්මනට කේන්ති යන, දුක හිතෙන කෙනෙක්. කියන්න ඕනෙ දේ මූණටම කිව්වට ඔහු ඒක හිතේ තියාගෙන ඉන්නෙ නැහැ. ඔහුගේ තාත්තා මියයනවා. ඊට පස්සෙ ඔහු පවුලේ වැඩිමලා වෙනවා. ඒත් පවුල් බර කරට ගන්නෙ මල්ලි. ඔහු විවාහ වෙන්නේ යාළුවෙක් එක්ක. විවාහ ජීවිතය තුළ ඒ යාළුකම රැකගන්නත් ඔවුන් උත්සාහ ගන්නවා. ජීවිතයේ පීඩනයක් ආවම එක එක දේවල් ලියන එක, නටන එක, රණ්ඩුවෙන එක කලනගෙ පුරුද්දක්. කලන නිර්මාණකරුවෙක්. අධ්‍යක්ෂවරයෙක්. නමුත් දැන් ඔහු වැඩිපුර කැපවෙන්නෙ රංඟනයට.